• Increase font size
  • Default font size
  • Decrease font size

2018-04-10 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
ධීවර සහ ජලජීවී වගා ක්ෂේත්‍රය සඳහා නව ජාතික ප්‍රතිපත්තියක් හඳුන්වා දීම
ධීවර සහ ජලජීවී වගා ක්ෂේත්‍රය සඳහා නව ජාතික ප්‍රතිපත්තියක් සකස් කිරීම අමාත්‍ය මණ්ඩලය විසින් ලබාදෙන ලද අනුමැතිය පරිදි ධීවර හා ජලජ සම්පත් සංවර්ධනය අමාත්‍යාංශය විසින් ධීවරයින්, ජලජීවී වගාකරුවන්, අපනයනකරුවන් ඇතුළු අදාළ සියලු පාර්ශ්වකරුවන්ගේ, විද්වතුන්ගේ සහ මහජනතාවගේද අදහස් ලබා ගනිමින් එම ප්‍රතිපත්ති කෙටුම්පත සකස් කරනු ලැබ තිබේ.

ධීවර කර්මාන්තය හා ජලජීවී වගාව තිරසර ලෙස කළමනාකරණය කිරීම සහ එහි ප්‍රතිලාභ සාධාරණ ලෙස බෙදීයාම කෙරෙහි මෙම නව ප්‍රතිපත්තිය මඟින් අවධානය යොමු කරනු ලැබ තිබේ. ජාත්‍යන්තර ප්‍රමිතීන්ට අනුකූලව ධීවර කර්මාන්තය සිදු කිරීම, නීති විරෝධී ධීවර කටයුතු වැලැක්වීම, උචිත නව තාක්ෂණය හඳුන්වාදීම, පසු අස්වනු හානිය අවම කිරීම, ජාතික මත්ස්‍ය පරිභෝජනය ඉහළ නැංවීම, මත්ස්‍ය නිෂ්පාදන අපනයන ප්‍රවර්ධනය, ධීවර ප්‍රජාවගේ සමාජ ආර්ථික තත්ත්වය ඉහළ නැංවීම යනාදී කරුණු කෙරෙහි මෙමඟින් ප්‍රතිපාදන සලසයි. යෝජිත ධීවර සහ ජලජීවී වගා නව ජාතික ප්‍රතිපත්තිය පාර්ලිමේන්තුව නියෝජනය කරනු ලබන නියෝජිතයින්ගේ අදහස් ලබාගැනීම පිණිස පාර්ලිමේන්තුව වෙත ඉදිරිපත් කිරීම පිණිස ධීවර හා ජලජ සම්පත් සංවර්ධන අමාත්‍ය මහින්ද අමරවීර මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.