• Increase font size
  • Default font size
  • Decrease font size

2018-04-10 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
ප්‍රාථමික සෞඛ්‍ය සේවාව ශක්තිමත් කිරීම
ශ්‍රී ලංකාවේ ප්‍රාදේශීය මට්ටමින් පිහිටා ඇති ප්‍රාථමික මට්ටමේ රෝහල් 970ක් පමණ ඇති නමුත්, මහජනතාව මෙම රෝහල් ජාලය මඟහැර තෘතීයක මට්ටමේ ප්‍රතිකාර ලබා දෙන රෝහල් වෙතම යොමු වීමේ ප්‍රවණතාවක් පවතී. ඒ හේතුවෙන්, තෘතීයක මට්ටමේ ප්‍රතිකාර ලබා දෙන රෝහල්වල අධික තදබදයක් නිර්මාණය වී ඇත. එමෙන්ම, වයස්ගත ජනගහනය වැඩිවීම, බෝ නොවන රෝගවල වර්ධනය, වෙනස් වන රෝග රටාවන් ආදි හේතු නිසා මෙරට ප්‍රාථමික සෞඛ්‍ය සත්කාරක සේවාව වැඩිදියුණු කිරීමේ අවශ්‍යතාව උද්ගත වී තිබේ. එබැවින්, විශේෂඥ ප්‍රතිකාර සේවා ලබා දෙන ආසන්නතම ප්‍රාථමික රෝහල් සමඟ පර්ෂද වශයෙන් සම්බන්ධ කිරීම මඟින් මහජනතාවට පහසුවෙන් සේවා ලබාගත හැකි දියුණු සෞඛ්‍ය සේවා පද්ධතියක් ස්ථාපනය කිරීමට යෝජනා වී තිබේ.

ඒ අනුව, පහත සඳහන් අංග ඇතුළත් වන පරිදි සකස් කරනු ලැබ ඇති, 'සාර්ව සෞඛ්‍ය රැකවරණයක් අරමුණු කර ගත් සෞඛ්‍ය සත්කාර සැපයීමේ ප්‍රතිපත්තිය' ක්‍රියාත්මක කිරීම පිණිස සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය (වෛද්‍ය) රාජිත සේනාරත්න මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.

* ජනගහනයෙන් 5,000ක් ආවරණය වන පරිදි, පවුලේ වෛද්‍යවර‍‍ෙයකු බැගින් හඳුනාගෙන රෝග නිවාරණය සඳහා පහසුකම් සැලසීමට හැකිවන සේ ප්‍රාථමික සත්කාරක සේවා සපයන ආයතන තවදුරටත් ශක්තිමත් කිරීම.

* පවුල් වෛද්‍ය ක්ෂේත්‍රයේ කටයුතු සිදු කිරීමට සහ ප්‍රථම වරට සත්කාර ලබාගැනීමට පැමිණෙන රෝගීන්ට ලබා දෙන සේවා ශක්තිමත් කිරීමට අවශ්‍ය මූලික පුහුණුව වෛද්‍යවරුන්ට ලබා දීම.

* ප්‍රාථමික සත්කාරක ආයතනවලින් සියලුම රෝගීන්ට ප්‍රතිකාර ලබා දීම සහතික කිරීම සහ එම රෝගීන් විශේෂඥ වෛද්‍යවරුන් සහිත ද්විතීයක සහ තෘතීයක රෝහල් වෙත කාලානුරූපීව සුදුසු පරිදි යොමු කිරීම ශක්තිමත් කිරීම.

* සෑම පුරවැසියෙකුටම අනන්‍ය වූ, සෞඛ්‍ය ක්ෂේත්‍රයේ හඳුනාගැනීමේ අංකයක් සහිත පුද්ගල සෞඛ්‍ය වාර්තාවක් ලබා දීම සහ සෞඛ්‍ය තොරතුරු කළමනාකරණ පද්ධතිය තවදුරටත් ශක්තිමත් කිරීම.

* සෞඛ්‍ය ක්ෂේත්‍රයේ මානව සම්පත් ඵලදායී ලෙස අනුයුක්ත කිරීම සහ උපයෝගි කරගැනීම සහතික කිරීම.

* අදාළ පර්ෂද තුළ ප්‍රාථමික සත්කාර සපයන වෛද්‍යවරුන් සමඟ එකාබද්ධව ඔවුන්ගේ සායනික හැකියාවන් වර්ධනය කිරීමට විශේෂඥ වෛද්‍යවරුන් මඟින් දූරස්ථව උපකාර ලබා දීමේ ක්‍රමයක් ස්ථාපනය කිරීම.