• Increase font size
  • Default font size
  • Decrease font size

2018-04-10 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
දුම්කොළ නිෂ්පාදනයන් සඳහා සම්මත (අවර්ණ) ඇසුරුම්කරණය හඳුන්වා දීම
දුම්කොළ පරිභෝජනය මඟින් ඇති කරනු ලබන ඍජු හෝ වක්‍ර බලපෑම් හේතුවෙන් ශ්‍රී ලංකාව තුළ වාර්ෂිකව සිදුවන මරණ සංඛ්‍යාව 25,000 ඉක්මවන බවට ගණන් බලා තිබේ. පසුගිය කාලය පුරා දුම්කොළ හා මද්‍යසාර භාවිතය වැළැක්වීම සඳහා ක්‍රියාත්මක කරන ලද වැඩසටහන්වල ප්‍රතිඵලයක් වශයෙන් 2011 වර්ෂයේදී 29%ක්ව පැවති ශ්‍රී ලංකාවේ වැඩිහිටි පිරිමි තැනැත්තන් අතර දුම්කොළ පරිභෝජනය 2015 වර්ෂය වන විට 24% දක්වා අඩු වී තිබේ. ඉදිරි වසර 4ක කාලය තුළ එම අගය 15% ක් දක්වා අඩු කරගැනීම මඟින් දුම්කොළ භාවිතය හේතුවෙන් සිදුවන වාර්ෂික මරණ 6,000ක් පමණ වළක්වා ගැනීම රජයේ අපේක්ෂාව වේ. ඒ අනුව, දුම් පානය අධෛර්මත් කිරීමේ එක් උපක්‍රමයක් වශයෙන්, සියලුම දුම්කොළ නිෂ්පාදන ඇසුරුම්වල ඇති ආකර්ෂණීය බව අඩු වන පරිදි 'සම්මත ඇසුරුම්කරණය' හඳුන්වා දීමට යෝජනා වී තිබේ.

මෙහිදී දුම්කොළ නිෂ්පාදන ඇසුරුම් සඳහා වර්ණ දෙකක් හෝ සුදු හා කලු යන වර්ණ පමණක් භාවිත කළ හැකි අතර, වෙළඳ නාමය, නිෂ්පාදන නාමය, නිෂ්පාදනයේ ප්‍රමාණය සහ සෞඛ්‍යමය අනතුරු ඇඟවීම් ආදී රජය විසින් නිශ්චය කළ ‍හෝ අනිවාර්ය කළ තොරතුරු හෝ සලකුණක් හැර අන් කිසිවක් එම ඇසුරුම්වල ප්‍රදර්ශනය කිරීමට ඉඩ දෙනු නොලැබේ. මෙම උපක්‍රමය දුම්කොළ අලෙවිය සැලකිය යුතු මට්ටමකින් පහත හෙලීමට ඉවහල් වන බව වෙනත් රටවල්වල අත්දැකීම් මඟින් තහවුරු වී තිබේ. ඒ අනුව, මෙරට අලෙවි කරනු ලබන සියලුම දුම්කොළ නිෂ්පාදන සඳහා 'සම්මත ඇසුරුම්කරණය' හඳුන්වා දීමට අවශ්‍ය නීතිමය විධිවිධාන සැලසීමේ අරමුණින්, 2006 අංක 27 දරන ජාතික දුම්කොළ සහ මද්‍යසාර අධිකාරිය පනත සංශෝධනය කිරීම හෝ එම පනත යටතේ රෙගුලාසි පැනවීම සඳහා අවශ්‍ය කෙටුම්පත් සකස් කරන ලෙස නීති කෙටුම්පත් සම්පාදකවරයා වෙත උපදෙස් දීම පිණිස සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය (වෛද්‍ය) රාජිත සේනාරත්න මැතිතුමා ඉදිරිපත් කළ යෝජනා අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.