• Increase font size
  • Default font size
  • Decrease font size

2018-04-10 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
හඳුනාගත් රෝහල්වල පහසුකම් වැඩිදියුණු කිරීම
මෙරට සෞඛ්‍ය සේවා සැපයීම වැඩිදියුණු කිරීමේ අරමුණින් දැනට හඳුනාගෙන ඇති රෝහල් සඳහා අවශ්‍ය ගොඩනැඟිලි ඉදි කිරීම් හා එම රෝහල් සඳහා වෛද්‍ය උපකරණ සැපයීමේ ව්‍යාපෘතියක් ක්‍රියාත්මක කිරීමට අමාත්‍ය මණ්ඩලයේ අනුමැතිය හිමි වී තිබේ. කලින් සැලසුම් කර තිබූ පරිදි, ඒ සඳහා චීනයේ අපනයන ආනයන බැංකුවෙන් (EXIM Bank of China) ණය ආධාර ලබාගැනීමට නොහැකි වී තිබේ.

නමුත්, මෙම ව්‍යාපෘතිය කඩිනමින් ක්‍රියාත්මක කිරීමේ අවශ්‍යතාව සැලකිල්ලට ගෙන, එහි මුළු ව්‍යාපෘති පිරිවැයෙන් 85%ක් වන ඇමරිකානු ඩොලර් මිලියන 72.25ක මුදලක් හොංකොංහි හොංකොං සහ ෂැංහයි බෑංකින් කෝ‍පරේෂන් ලිමිටඩ් (HSBC) වෙතින්ද, ඉතිරි 15%ක පිරිවැය වන ඇමරිකානු ඩොලර් මිලියන 12.75ක මුදල මහජන බැංකුව වෙතින්ද සලසා ගැනීම සඳහා ණය ගිවිසුම්වලට එළඹීම පිණිස ජාතික ප්‍රතිපත්ති හා ආර්ථික කටයුතු අමාත්‍යතුමා වශයෙන් ගරු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.