• Increase font size
  • Default font size
  • Decrease font size

2018-04-03 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
ඔලුවිල් වරායේ මෙහෙයුම් කටයුතු කඩිනමින් ආරම්භ කිරීම සඳහා එහි වර්තමාන ගැටලු නිරාකරණය කිරීම
- යූරෝ මිලියන 45ක වියදමින් ඔලුවිල් වරාය සංවර්ධනය කර 2013 වසරේදී විවෘත කරන ලද නමුත්, වරාය ද්‍රෝණියෙහි රොන් මඩ එකතුවීම හේතුවෙන් එහි වාණිජ කටයුතු ආරම්භ කිරීමට නොහැකි වී තිබේ. එමෙන්ම එම වරායට උතුරින් වූ වෙරළ තීරයේ වෙරළ ඛාදනය වර්ධනය වෙමින් පවතින අතර, එම ප්‍රදේශයේ ධීවරයින්ගේ ජීවන වෘත්තියටද එය අයහපත් අයුරින් බලපා තිබේ. මෙම ගැටලු නිරාකරණය කරමින් ඔලුවිල් වරායේ වාණිජ මෙහෙයුම් කඩිනමින් ආරම්භ කිරීම සඳහා පියවර ගැනීමේ අවශ්‍යතාව හඳුනාගනු ලැබ තිබේ. මෙහිදී යෝජිත විසඳුම වන වරායට දකුණින් වූ වෙරළ ප්‍රදේශයෙහි වැලි කැනීම් කිරීම හා උතුරු වෙරළ ප්‍රදේශයෙහි වැලි පෝෂණය සඳහා ඇමරිකානු ඩොලර් මිලියන 15ක් පමණ වැය වන බව ගණනය කර ඇත.

ඒ අනුව, විදේශ ආධාර සපයා ගැනීම මඟින් අදාළ කැනීම් කටයුතු සිදු කිරීමටත්, ඒ සඳහා සුදුසු කැනීම් කිරීමේ යන්ත්‍රයක් රජයේ ප්‍රසම්පාදන ක්‍රමවේදය යටතේ මිල දී ගැනීමටත් වරාය හා නාවික කටයුතු අමාත්‍ය මහින්ද සමරසිංහ මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.