• Increase font size
  • Default font size
  • Decrease font size

2018-04-03 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
ශ්‍රී ලංකා සංවර්ධන පරිපාලන ආයතනය සහ ඉන්දියාවේ, රාජ්‍ය ව්‍යවසාය ආයතනය අතර අවබෝධතා ගිවිසුමකට එළඹීම
- රාජ්‍ය අංශයේ දීප ව්‍යාප්ත සේවාවන්ට අයත් නිලධාරින්ගේ හැකියා හා කුසලතා වර්ධනය කිරීමේ වගකීම දරන ශ්‍රී ලංකා සංවර්ධන පරිපාලන ආයතනය (SLIDA) විසින් සිය ඉගෙනුම් හා සංවර්ධන ක්‍රියාවලිය වැඩිදියුණු කිරීමේ අරමුණින් පිළිගත් විදේශ අධ්‍යාපන ආයතන සමඟ සිය සබඳතා පුළුල් කරගනිමින් සිටියි. ඒ යටතේ ඉන්දියාවේ පිළිගත් අධ්‍යාපන ආයතනයක් වන Institute of Public Enterprises (IPE) සමඟ අවබෝධතා ගිවිසුමක් ඇති කරගැනීමට යෝජනා වී තිබේ.

එම ආයතන දෙක අතර ඒකාබද්ධ පුහුණු වැඩසටහන් ක්‍රියාත්මක කිරීම, විද්වතුන්, ශිෂ්‍යයින් හා ශාස්ත්‍රීය කටයුතු හුවමාරුව, කළමනාකරණ උපදේශක කටයුතු සහ ඒකාබද්ධ පර්යේෂණ සිදු කිරීම ආදි ක්ෂේත්‍ර මෙමඟින් ආවරණය වේ. රාජ්‍ය අංශයේ ධාරිතා වර්ධනය තුළින් රාජ්‍ය සේවා සැපයීම වඩාත් කාර්යක්ෂම කිරීමේ අරමුණින් යෝජිත අවබෝධතා ගිවිසුමට එළඹීම පිණිස රාජ්‍ය පරිපාලන හා කළමනාකරණ අමාත්‍ය රංජිත් මද්දුම බණ්ඩාර මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.