• Increase font size
  • Default font size
  • Decrease font size

2018-04-03 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
ජාත්‍යන්තර පරමාණුක බලශක්ති ඒජන්සිය සමඟ එළඹි ශ්‍රී ලංකාවේ ආරක්ෂණ විධිවිධාන ගිවිසුමේ අතිරේක ප්‍රොටෝකෝලය ක්‍රියාත්මක කිරීම
- ශ්‍රී ලංකාව 1970 වර්ෂයේදී න්‍යෂ්ටික ආයුධ පැතිරීම වැළැක්වීම පිළිබඳ සම්මුතියට අත්සන් තබන ලද අතර, එම සම්මුතියේ බැඳීම් අනුව ශ්‍රී ලංකාව විසින් 1984 අගෝස්තු මස 06 දින ජාත්‍යන්තර පරමාණුක බලශක්ති ඒජන්සිය සමඟ ආරක්ෂක විධිවිධාන ක්‍රියාත්මක කිරීමේ ගිවිසුමකට එළැඹ ඇත. න්‍යෂ්ටික ද්‍රව්‍ය සහ තාක්ෂණය සාමකාමී පරිහරණය සඳහා මිස න්‍යෂ්ටික අවිආයුධ නිෂ්පාදනය සඳහා යොදා නොගන්නා බව සහතික කිරීම එහි ප්‍රධාන පරමාර්ථයයි. න්‍යෂ්ටික ඉන්ධන සැපයීමේ සමස්ත චක්‍රය සහ ඊට උපකාරි වන මූලික අංග සම්බන්ධ තොරතුරු ලබාගැනීමට හැකි වන පරිදි, අදාළ ආරක්ෂණ විධිවිධාන පද්ධතිය තවදුරටත් ශක්තිමත් කිරීමේ අරමුණින්, අදාළ ගිවිසුමේ පාර්ශ්වකාර රාජ්‍යයන් සහ ජාත්‍යන්තර පරමාණුක බලශක්ති ඒජන්සිය අතර, අතිරේක ප්‍රොටොකෝලයක් අත්සන් තැබීමේ යෝජනාවක් 1997 වසරේදී සම්මත කරගනු ලැබ ඇති අතර, 2017 වර්ෂයේ මැයි මාසය වන විට රටවල් 129ක් එම ප්‍රොටොකෝලයට අත්සන් තබනු ලැබ තිබේ.

සාමකාමී අරමුණු සඳහා පමණක් න්‍යෂ්ටික ද්‍රව්‍ය හා තාක්ෂණය යොදා ගැනීමෙහි ලා ශ්‍රී ලංකාවේ ඇති කැපවීම පෙන්නුම් කරමින්, එම ප්‍රොටොකෝලයෙහි විධිවිධාන ශ්‍රී ලංකාව තුළ ක්‍රියාත්මක කිරීම සඳහා අවශ්‍ය ක්‍රියාමාර්ග ගැනීම පිණිස විදුලිබල හා පුනර්ජනනීය බලශක්ති අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.