• Increase font size
  • Default font size
  • Decrease font size

2018-04-03 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
කුඩා තේ වතුවල ඵලදායීතාව ඉහළ නැංවීම
- ශ්‍රී ලංකාවේ සමස්ත ‍ෙත් ඉඩම් ප්‍රමාණයෙන් 64%ක් පමණ කුඩා තේ වතුවලින් සමන්විත වන අතර, රටේ සමස්ත තේ නිෂ්පාදනය සඳහා 76%කට වැඩි දායකත්වයක් එමඟින් ලබා දෙනු ලැබේ. කුඩා තේ වතු අංශය තවදුරටත් සංවර්ධනය කිරීමේ ක්‍රමෝපායක් වශයෙන් කුඩා තේ වතුවල ඵලදායීතාව ඉහළ නැංවීම පිණිස 2018 අයවැය මඟින් රුපියල් මිලියන 250ක් වෙන් කරනු ලැබ තිබේ. මේ යටතේ තේ වගාව සඳහා කාර්යක්ෂමව පොහොර යෙදීම පිණිස නවීන යන්ත්‍ර හඳුන්වාදීම, නිවැරදි කෘෂිකාර්මික පිළිවෙත් අනුගමනය කිරීම දිරිමත් කිරීම සඳහා අවශ්‍ය උපකරණ ලබා දීම, ගුණාත්මක තේ දලු අලෙවිය සඳහා යටිතල පහසුකම් සැපයීම පිණිස ග්‍රාමීය ප්‍රවේශ මාර්ග පුනරුත්ථාපනය කිරීම යන ප්‍රධාන ව්‍යාපෘති 03ක් ක්‍රියාත්මක කිරීමට සැලසුම් කරනු ලැබ තිබේ.

ඒ අනුව, තේ වගා ප්‍රදේශයන්හි කුඩා තේ වතු සංවර්ධන සමිති 1456ක් වෙත පොහොර යෙදීමේ යන්ත්‍රයක් බැගින් ලබා දීමටත්, කුඩා තේ වතු හිමියන් වෙත ස්ප්‍රේ යන්ත්‍ර, කප්පාදු පිහි හා මුල්ලු ආදී වගා යන්ත්‍රෝපකරණ ලබා දීමටත්, ග්‍රාමීය ප්‍රවේශ මාර්ග ප්‍රවාහනයට හිතකර වන පරිදි පුනරුත්ථාපනය කිරීමටත් වැවිලි කර්මාන්ත අමාත්‍ය නවින් දිසානායක මැතිතුමා ඉදිරිපත් කළ යෝජනා අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.