• Increase font size
  • Default font size
  • Decrease font size

2018-04-03 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
වරාය ආශ්‍රිත පහසුකම් සම්පාදන කටයුතු සඳහා බ්ලූමැන්ඩල් ප්‍රදේශය සංවර්ධනය කිරීම
- කොළඹ වරාය ආශ්‍රිත මෙහෙයුම් කටයුතු සහ වාණිජ හා නේවාසික සංවර්ධන කාර්යයන් සඳහා කොළඹ බ්ලූමැන්ඩල් ප්‍රදේශය සංවර්ධනය කළ යුතු බව හඳුනාගනු ලැබ ති‍ෙබ්. කොළඹ වරායේ නැව් බඩු මෙහෙයුම් කටයුතු වර්ධනය කිරීම හා එහි කාර්යක්ෂමතාව වැඩිදියුණු කිරීම මෙමඟින් අපේක්ෂා කෙරෙන අතර, මෙරට ආනයන අපනයන කටයුතු කාර්යක්ෂම කිරීමට එමඟින් හැකිවනු ඇත. මෙමඟින් බ්ලූමැන්ඩල් ප්‍රදේශය අවට අඩු පහසුකම් සහිත නිවාසවල ජීවත් වන ප්‍රජාවට සෞඛ්‍ය උපද්‍රව රහිත ආරක්ෂිත පරිසරයක් ඇති කරමින් ඔවුන්ට වඩාත් උසස් ජීවන තත්ත්වයක් සහතික කිරීමටද කටයුතු කෙරෙනු ඇත.

තවද, ශ්‍රී ලංකා රේගු දෙපාර්තමේන්තුවේ සත්‍යාපන මධ්‍යස්ථානය, නාගරික විනෝදාස්වාද උද්‍යානය, කිඹුලා ඇළ ජල රැඳවුම් ප්‍රදේශය පුළුල් කිරීම සහ අතිරේක දුම්රිය මාර්ග පහසුකම් වැඩි දියුණු කිරීම යන ඉදි කිරීම් ද මේ යටතේ සිදු කිරීමට සැලසුම් කරනු ලැබ තිබේ. ඉහත සංවර්ධන කාර්යයන් සිදු කිරීම පිණිස මහානගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍ය පාඨලී චම්පික රණවක මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.