• Increase font size
  • Default font size
  • Decrease font size

2018-04-03 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
රාජ්‍ය අංශයේ කාර්යක්ෂමතාව ඉහළ නැංවීමේ ව්‍යාපෘතිය
- රාජ්‍ය මූල්‍ය කළමනාකරණය සම්බන්ධයෙන් කටයුතු කරන රාජ්‍ය ආයතන ශක්තිමත් කිරීමට හා ඒවායේ හැකියාවන් වර්ධනය කිරීම සඳහා පිළිවෙළින් ඇමරිකානු ඩොලර් මිලියන 60ක ණය පහසුකමක් සහ ඇමරිකානු ඩොලර් මිලියන 10ක පමණ ප්‍රදානයක් ලබා දීමට ලෝක බැංකුව හා යුරෝපා සංගමය එකඟ වී තිබේ. එම අරමුදල් යොදාගනිමින් රාජ්‍ය අංශයේ කාර්යක්ෂමතාව ඉහළ නැංවීමේ ව්‍යාපෘතිය (PSEP) ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර ඇති අතර, එමඟින් රාජ්‍ය ආයෝජන හා ණය කළමනාකරණයෙහි කාර්යක්ෂමතාව ඉහළ නැංවීම, අයවැය යෝජනා ක්‍රියාත්මක කිරීමේ සහ ප්‍රසම්පාදන ක්‍රියාවලියේ මෙහෙයුම් කාර්යක්ෂමතාව වැඩිදියුණු කිරීම, රාජ්‍ය සේවා සැපයීමේදී එහි පාලනය, විනිවිදභාවය හා කාර්යක්ෂමතාව ඉහළ නැංවිම, රාජ්‍ය අංශයේ තිරසර නිපුණතා හා හැකියාවන් ඉහළ නැංවීම සහ පුරවැසි සහභාගිත්වය වැඩිදියුණු කිරීම යන ක්ෂේත්‍රයන් කෙරෙහි අවධානය යොමු කෙරේ. ඉහත ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීම සඳහා අවශ්‍ය පහසුකම් සැලසීම පිණිස මුදල් හා ජනමාධ්‍ය අමාත්‍ය මංගල සමරවීර මැතිතුමා ඉදිරිපත් කළ යෝජනා අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.