• Increase font size
  • Default font size
  • Decrease font size

2018-03-27 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
යල කන්නයේ සිට ක්‍රියාත්මක වන පරිදි පොහොර සහනාධාර ප්‍රතිපත්තිය සංශෝධනය කිරීම
- ගොවීන්ට පොහොර වශයෙන් ලබා දුන් පොහොර සහනාධාර වැඩසහටන 2016 වර්ෂයේ යල කන්නයේ සිට මුදල් ප්‍රදානය ලෙසින් ලබා දීමට තීරණය කරන ලද අතර, එය 2016 යල කන්නයේ සිට මේ දක්වා අඛණ්ඩව කන්න 4ක් තුළ ක්‍රියාත්මක කරන ලදී. එම වැඩසටහන යටතේ වී වගාව සඳහා හෙක්ටයාර දෙකක් සඳහා එක් කන්නයකට රුපියල් 25,000/-ක මුදලක්ද, අර්තාපල්, ළුණු, මිරිස්, බඩඉරිඟු හා සෝයා වැනි තෝරාගත් අනෙක් ක්ෂේත්‍ර භෝග සඳහා හෙක්ටයාරයකට වසරකට රු.10,000/-ක මුදලක්ද ගෙවීන්ගේ බැංකු ගිණුම්වලට ප්‍රේෂණය කිරීමට කටයුතු කරන ලදී.

පොහොර මිල දී ගැනීම සඳහා මුදල් ප්‍රදානය කිරීමේ ප්‍රතිපත්තිය සමාලෝචනය කිරීමේදී මතු වූ කරුණු සලකා, එම මුදල් ප්‍රදාන ක්‍රමවේදය වෙනුවට සියලුම වගාවන් ආවරණය වන පරිදි ගොවීන්ට අවශ්‍ය යූරියා, ටී.එස්.පී., එම්.ඕ.පී. සහ ඇමෝනියා සල්පේට් යන ඍජු පොහොර ඒ ඒ වගාවන්ට යෙදිය යුතු නිර්දේශ මත පදනම්ව විවෘත වෙළඳපොළෙහි නියම කරන ලද සහනාධාර මිලකට ලබැගැනීමට කටයුතු සම්පාදනය කිරීමට රජයේ අවධානය යොමු වී තිබේ.

ඒ අනුව, වී වගා කරන ගොවීන්ට එක් කන්නයක් සඳහා අක්කර 5ක උපරිමයකට යටත්ව අවශ්‍ය කරන යූරියා, ටී.එස්.පී., එම්.ඕ.පී. යන ඍජු පොහොර කිලෝ ග්‍රෑම් 50ක මිටියක් රු.500/-ක සහනාධාර මිලකට ගොවිජන සංවර්ධන දෙපාර්තමේන්තුව හරහා ලබා දීමටත්, අනෙකුත් භෝග වගා කරන ගොවීන්ට අවශ්‍ය කරන පොහොර කිලෝ ග්‍රෑම් 50ක මිටියක් රු.1,500/-ක සහනාධාර මිලකට විවෘත වෙළඳ‍ පොළෙන් මිල දී ගැනීමටත් හැකි වන ක්‍රමවේදයක් සකස් කිරීමටත්, 2018 අයවැය මඟින් යෝජනා කර තිබූ පරිදි වී,‍‍‍‍ අර්තාපල්, බඩඉරිඟු, සෝයා සහ ළුණු වගාවන්ට ස්වාභාවික හේතූන් නිසා ඇති වන හානි වෙනුවෙන් අක්කරයකට රුපියල් 40,000/- වන්දියක් සැපයෙන රක්ෂණ යෝජනා ක්‍රමයකට එක් ගොවියෙකු වෙනුවෙන් කන්නයක් සඳහා රුපියල් 675/-ක දායක මුදලක් රජය විසින් දැරීමටත් මෙම යෝජනා 2018 යල කන්නයේ සිට ක්‍රියාත්මක කිරීමත් පිණිස කෘෂිකර්ම අමාත්‍ය දුමින්ද දිසානායක මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.