• Increase font size
  • Default font size
  • Decrease font size

2018-03-27 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
මහනුවර නාගරික කලාපයේ මාර්ග තදබදය අවම කිරීම සඳහා මහනුවර තදාසන්න දුම්රිය මාර්ග සංවර්ධනය කිරීම
- මහනුවර දිස්ත්‍රික්කයේ ජනගහනය මිලියන 1.4ක් පමණ වන අතර, ඉන් 150,000ක් පමණ මහනුවර නාගරික කලාපයේ පදිංචිකරුවන් වේ. මහනුවර නගරය වෙත දිනකට වාහන 55,000ක් පමණ ඇතුළු වන අතර, ඒ සඳහා පවතින ප්‍රධාන පිවිසුම් මාර්ග 03 වත්මන් සහ අනාගත ප්‍රවාහන අවශ්‍යතා සපුරාලීම සඳහා ප්‍රමාණවත් නොවන අතර, අධික නාගරීකරණය හේතුවෙන් එම මාර්ග තවදුරටත් පුළුල් කිරීමේ ඉඩකඩ සීමා වී තිබේ. මෙම තත්ත්වය හේතුවෙන් මහනුවර නගරයේ පවතින අධික රථවාහන තදබදය අඩු කිරීම සඳහා මහනුවර තදාසන්න දුම්රිය මාර්ග සංවර්ධනය කිරීමේ ව්‍යාපෘතියක් ආසියානු සංවර්ධන බැංකුවේ අරමුදල් සහාය ඇතිව ක්‍රියාත්මක කිරීමට යෝජනා වී තිබේ. ඒ අනුව, පහත දැක්වෙන දුම්රිය මාර්ග සංවර්ධන කටයුතු සිදු කිරීම සඳහා අවශ්‍ය උපදේශක සේවා ලබාගැනීම සඳහා යෝග්‍ය ආයතන වෙතින් යෝජනා කැඳවනු ලැබ ඇති බවට ප්‍රවාහන හා සිවිල් ගුවන් සේවා අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මැතිතුමා විසින් ඉදිරිපත් කරන ලද කරුණු අමාත්‍ය මණ්ඩලය විසින් සැලකිල්ලට ගන්නා ලදී.

* රඹුක්කන සිට කඩුගන්නාව දක්වා ප්‍රධාන මාර්ගයේ දුම්රිය ධාවන ධාරිතාව වැඩිදියුණු කිරීම;

* කඩුගන්නාව සිට කටුගස්තොට දක්වා හෝ වල්ලේගඟම (මාතලේ මාර්ගය) දක්වා ද්විත්ව මාර්ග ඉදි කිරීම;

* කටුගස්තොට සිට මාතලේ දක්වා දුම්රිය මාර්ගය පුනරුත්ථාපනය කිරීම;

* පේරාදෙනිය හංදියේ සිට ගම්පොළ දක්වා ගමනාගමන ධාරිතාව වැඩිදියුණු කිරීම.