• Increase font size
  • Default font size
  • Decrease font size

2018-03-27 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
ශ්‍රී ලංකා ජාතික ග්‍රන්ථ සංවර්ධන මණ්ඩලය ප්‍රතිස්ථාපනය කිරීම
- ජනතාව අතර පොතපත කියවීමේ හා පරිහරණය කිරීමේ පුරුද්ද වැඩිදියුණු කිරීමට හා ඊට අනුබල දීමටත්, පොත්පත් ලිවීම, නිෂ්පාදනය ඇතුළු කාර්යයන් සම්බන්ධයෙන් ජාතික ප්‍රතිපත්තියක් සකස් කර ක්‍රියාත්මක කිරීමටත් යන අරමුණු සාක්ෂාත් කරගැනීම සඳහා යුනෙස්කෝ ආයතනයේ නිර්දේශයක් මත 1972 වර්ෂයේදී ස්ථාපිත කරන ලද ශ්‍රී ලංකා ජාතික ග්‍රන්ථ සංවර්ධන මණ්ඩලය 2012 දී අහෝසි කොට එහි කාර්යයන් ජාතික පුස්තකාල හා ප්‍රලේඛන සේවා මණ්ඩලය යටතට පත් කරනු ලැබ තිබේ. එසේ වුවද, ශ්‍රී ලංකා ජාතික ග්‍රන්ථ සංවර්ධන මණ්ඩලය විසින් ඉටු කරගැනීමට අපේක්ෂිත වූ අරමුණු හා කාර්යයන් වඩාත් කාර්යක්ෂමව ඉටු කරගැනීම පිණිස ඒ සඳහාම වෙන් වූ ආයතනයක් පැවතීමේ අවශ්‍යතාව සැලකිල්ලට ගෙන, 2012 දී අහෝසි කරන ලද ශ්‍රී ලංකා ජාතික ග්‍රන්ථ සංවර්ධන මණ්ඩලය නැවත ස්ථාපිත කිරීම පිණිස අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.