• Increase font size
  • Default font size
  • Decrease font size

2018-03-27 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
ශ්‍රී ලංකා සැහැල්ලු දුම්රිය සංක්‍රමණ ව්‍යාපෘතිය පිළිබඳ පනත් කෙටුම්පත
- කොළඹ මහ නගර ප්‍රදේශය තුළ කාර්යක්ෂම සහ ඵලදායී මගී ප්‍රවාහන ක්‍රමයක් ස්ථාපිත කිරීම සඳහා සැහැල්ලු දුම්රිය සංක්‍රමණ මාර්ග ව්‍යාපෘතියක් ක්‍රියාත්මක කිරීම සඳහා රජය කටයුතු කරමින් සිටියි. මේ යටතේ සැහැල්ලු දුම්රිය සංක්‍රමණ මාර්ග 07ක් ඉදි කිරීමට සැලසුම් කර ඇති අතර, කොළඹ නගරය තුළ දිවෙන සැහැල්ලු දුම්රිය සංක්‍රමණ මාර්ගය සහ බොරැල්ල සිට බත්තරමුල්ල හරහා මාලඹේ දෙසට විහිදෙන සැහැල්ලු දුම්රිය සංක්‍රමණ මාර්ගය සඳහා මෙහිදී ප්‍රමුඛතාවය ලබා දෙනු ලැබ තිබේ. 2025 වර්ෂය වන විට කොළඹ සැහැල්ලු දුම්රිය පද්ධතියේ මෙහෙයුම් කටයුතු ආරම්භ කිරීමට අපේක්ෂා කෙරේ.

එම මාර්ග දෙක ඉදි කිරීම සඳහා අරමුදල් සපයනු ලබන ජපාන ජාත්‍යන්තර සහයෝගිතා නියෝජිතායතනය සමඟ ඇති එකඟතාව අනුව, මෙම මාර්ග ඉදි කිරීමට පෙර ඊට අදාළ නියාමන රාමු සකස් කළ යුතු වේ. ඒ අනුව, යෝජිත සැහැල්ලු දුම්රිය පද්ධතිය නියාමනය සහ කළමනාකරණය සඳහා නෛතික ආයතනයක් ස්ථාපනය කිරීමටත්, අදාළ අනෙකුත් නීතිමය විධිවිධාන සැලසීමටත්, ශ්‍රී ලංකා සැහැල්ලු දුම්රිය සංක්‍රමණ පනත් කෙටුම්පත සකස් කිරීම සඳහා නීති කෙටුම්පත් සම්පාදක වෙත උපදෙස් ලබා දීම පිණිස මහානගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍ය පාඨලී චම්පික රණවක මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.