• Increase font size
  • Default font size
  • Decrease font size

2018-03-27 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
නවෝත්පාදකයින් කර්මාන්තවලට යොමු කිරීම
- නව නිපැයුම්කරුවන් හට කර්මාන්තවලට ප්‍රවේශ වීමේ අවස්ථාව සලසා දීමට 2018 අයවැය මඟින් යෝජනා වූ අතර, එහි අරමුණ වනුයේ ලියාපදිංචි පේටන්ට් බලපත්‍රයක් හෝ යෝග්‍ය ව්‍යාපාර අදහසක් සහිත විශ්වවිද්‍යාල උපාධිධරයන් සහ ජාතික වෘත්තීය සුදුසුකම් (NVQ) සහතිකලාභීන් කර්මාන්ත හා සම්බන්ධ කිරීමයි. එහිදී නවෝත්පාදකයින් අදාළ කර්මාන්ත සඳහා යොමු කරනු ලබන අතර, ඔවුන්ගේ මාසික වැටුපෙන් 50% ක් සඳහා දායක වීමටත් (රුපියල් 50,000/-ක සහ මාස 24ක උපරිමයකට යටත්ව) ඊට අමතරව පේටන්ට් බලපත්‍ර ලබාගැනීම සඳහා ශ්‍රී ලංකාව තුළ දැරීමට සිදුවන වියදම් හා උපදෙස් ලබා දීමටද රජය විසින් කටයුතු කෙරෙනු ඇත.
ඒ අනුව, මේ සඳහා අයදුම්කරුවන් හා හවුල්කාර සමාගම් තෝරා ගැනීම සඳහා නිර්ණායක තීරණය කිරීම, ආයතන සඳහා අයදුම්කරුවන් ගළපමින් සුදුසු අයදුම්කරුවන් සහ ආයතන තෝරාගැනීම ඇතුළුව මෙම ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීමට සහ එය සාර්ථක කරගැනීමට අවශ්‍ය ක්‍රියාමාර්ග ගැනීම පිණිස මෙහෙයුම් කමිටුවක් පත් කිරීමටත්, එම මෙහෙයුම් කමිටුවට සහාය වීම පිණිස තාක්ෂණික කමිටුවක් පත් කිරීමටත් මුදල් හා ජනමාධ්‍ය අමාත්‍ය මංගල සමරවීර මැතිතුමා ඉදිරිපත් කළ යෝජනා අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.