• Increase font size
  • Default font size
  • Decrease font size

2018-03-27 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
ශ්‍රී ලංකා දැව කර්මාන්ත වටිනාකම් ඉහළ නැංවීම
- ශ්‍රී ලංකාවේ ක්‍රියාත්මක අනෙකුත් විවිධ කර්මාන්තයන්හි සංවර්ධනය හා සැසඳීමේදී දැව හා දැව ආශ්‍රිත කර්මාන්ත ක්ෂේත්‍රය පෙන්නුම් කරනුයේ මන්දගාමී ප්‍රගතියකි. වනාන්තරවල ආරක්ෂාකාරී බව හා නිෂ්පාදන ධාරිතාව අතර සමබරතාවක් පවත්වා ගනිමින් ශ්‍රී ලංකාවේ දැව හා දැව ආශ්‍රිත නිෂ්පාදන පිළිබඳ කර්මාන්තය තිරසර ලෙස සංවර්ධනය කිරීමේ අවශ්‍යතාව හඳුනාගනු ලැබ ඇත. ඒ සඳහා වන සංරක්ෂණය හා තිරසර කළමනාකාරිත්වය, නිවර්තන වන සම්පත් භාවිතය හා අලෙවිය ප්‍රවර්ධනය කරනු ලබන ජාත්‍යන්තර නිවර්තන දැව සංවිධානයෙහි (International Tropical Timber Organization - ITTO) සාමාජිකත්වය ශ්‍රී ලංකාව විසින් ලබාගැනීමටත්, දැව භාණ්ඩ නිෂ්පාදකයින් විශාල ප්‍රමාණයක් සිටින මොරටුව ප්‍රදේශයේ දැව නිර්මාණ සැලසුම් නවෝත්පාදන මධ්‍යස්ථානයක් පිහිටුවීම සඳහාත් සැලසුම් කර තිබේ.

යෝජිත දැව නිර්මාණ සැලසුම් නවෝත්පාදන මධ්‍යස්ථානය මඟින් දැව නිෂ්පාදකයින්ට, රාජ්‍ය දැව සංස්ථාවේ හා මොරටුව විශ්වවිද්‍යාලයේ සැලසුම් නිර්මාණ කණ්ඩායම්වල සහාය ඇතිව ප්‍රධාන පෙළේ දැව වර්ග වැඩිදියුණු කරමින් විශිෂ්ටතම දැව සැකසුම් කලාපයක් ලෙස මොරටුව ප්‍රදේශය සංවර්ධනය කිරීමට හැකියාවක් ලැබෙනු ඇත. ඒ අනුව, ඉහත යෝජනා ක්‍රියාත්මක කිරීම සඳහා විද්‍යා, තාක්ෂණ හා පර්යේෂණ අමාත්‍යාංශය විසින් අදාළ ආයතන සහ විශ්වවිද්‍යාල සමඟ අවබෝධතා ගිවිසුම් ඇති කරගැනීම පිණිස විද්‍යා, තාක්ෂණ හා පර්යේෂණ අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත මැතිතුමා ඉදිරිපත් කළ යෝජනා අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.