• Increase font size
  • Default font size
  • Decrease font size

2018-03-27 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
මරදානේ පිහිටි ඓතිහාසික කොළඹ පර්යන්ත දුම්රිය ස්ථානයේ 'ශ්‍රී ලංකා ජාතික දුම්රිය කෞතුකාගාරය' ස්ථාපිත කිරීම
- මහජනතාව, ශිෂ්‍යයන් සහ දුම්රිය සේවාව පිළිබඳව උනන්දුවක් දක්වන්නන් ආකර්ෂණය කරගන්නා ජාත්‍යන්තර මට්ටමේ ප්‍රමිතියකින් යුත් දුම්රිය කෞතුකාගාරයක් ශ්‍රී ලංකාවේ ස්ථාපනය කිරීමේ ප්‍රයත්න කිහිපයක් දරනු ලැබ තිබේ. එහෙත් ප්‍රමාණවත් සම්පත් හා ක්‍රමවේදයන් නොමැති වීම හේතුවෙන් මරදාන හා කඩුගන්නාව ප්‍රදේශවල දැනට ස්ථාපිත කරනු ලැබ ඇති දුම්රිය කෞතුකාගාර නිසි පරිදි ක්‍රියාත්මක නොවේ. එබැවින්, නව ව්‍යාපෘතියක් යටතේ, මරදාන පිහිටි කොළඹ දුම්රිය පර්යන්ත ස්ථානය සහ ඊට ආසන්න ගොඩනැඟිලි පුනරුත්ථාපනය කර දුම්රිය කෞතුකාගාරයක් ස්ථාපනය කිරීමට සැලසුම් කර තිබේ.

ඓතිහාසික වටිනාකමක් ඇති දුම්රිය ආශ්‍රිත කුඩා හා විශාල කෞතුක භාණ්ඩ සියයකට වැඩි සංඛ්‍යාවක් එහි ප්‍රදර්ශනය සඳහා යෝග්‍ය තත්ත්වයේ පවතින බව හඳුනාගෙන ඇති අතර, නව කෞතුකාගාරය සඳහා දේශීය හා විදේශීය සංචා‍රකයින් ආකර්ෂණය කරගැනීම මඟින් දුම්රිය දෙපාර්තමේන්තුවට සැලකිය යුතු ආදායමක් ලබාගැනීමටද හැකි වනු ඇත. ඒ අනුව, 'ශ්‍රී ලංකා ජාතික දුම්රිය කෞතුකාගාරය' පිහිටුවීම පිණිස ප්‍රවාහන හා සිවිල් ගුවන් සේවා අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මැතිතුමා ඉදිරිපත් කළ යෝජනා අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.