• Increase font size
  • Default font size
  • Decrease font size

2018-03-20 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
මුදල් විශුද්ධිකරණය හා ත්‍රස්තවාදයට මුදල් සැපයීම මැඬපැවැත්වීම සඳහා විධිවිධාන සැලසීම පිණිස 2007 අංක 7 දරන සමාගම් පනත සංශෝධනය කිරීම
- ශ්‍රී ලංකාව මුදල් විශුද්ධිකරණය (Money Laundering) වැළැක්වීම සහ ත්‍රස්තවාදයට මුදල් සැපයීම මැඬපැවැත්වීම සම්බන්ධයෙන් ශක්තිමත් නොවන ක්‍රමෝපායන් සහිත රටක් ලෙස ශ්‍රී ලංකාව ශ්‍රේණිගත කිරීමට 'මූල්‍ය ක්‍රියාකාරකම් කාර්යසාධක බලකාය' (Financial Action Task Force - FATF) විසින් කටයුතු කරනු ලැබ තිබේ. ඒ අනුව යමින් 2018 පෙබරවාරි මාසයේදී, යුරෝපා සංගමය විසින් ශ්‍රී ලංකාව මේ සම්බන්ධයෙන් අසාධු ලේඛනගත කරනු ලැබ තිබේ. මෙමඟින් මෙරට ආර්ථිකයට හා මූල්‍ය පද්ධතිය මත ඇති කරනු ලැබිය හැකි බරපතළ අහිතකර ප්‍රතිවිපාක සැලකිල්ලට ගනිමින්, මුදල් විශුද්ධිකරණය හා ත්‍රස්තවාදයට මුදල් සැපයීම වැළැක්වීම සඳහා තවදුරටත් සිදු කළ යුතු නීතිමය සංශෝධන කඩිනමින් සිදු කිරීමේ අවශ්‍යතාව හඳුනාගනු ලැබ තිබේ.

ඉන් වැදගත් සංශෝධනයක් වනුයේ, සීමාසහිත පොදු සමාගමක් හැරනු විට අනෙක් සෑම සමාගමක් විසින්ම තම සමාගමේ අයිතියෙන් 25%ක් හෝ ඊට වඩා දරනු ලබන කොටස් හිමිකම් සතු තැනැත්තන් හෝ; එවැනි සමාගමක මෙහෙයවීම සම්බන්ධයෙන් සක්‍රීය පාලනයක් හිමි අර්ථලාභී තැනැත්තන් පිළිබඳ තොරතුරු අඩංගු ලේඛනයක් පවත්වා ගෙන යාමේ අවශ්‍යතාව හඳුන්වා දීමයි. තවද එම තොරතුරු සමාගම් රෙජිස්ට්‍රාර් සහ අනෙකුත් අදාළ බලධාරින් වෙත ලබා දීම සඳහාද විධිවිධාන සැලසිය යුතු වේ. ඒ අනුව, 2007 අංක 7 දරන සමාගම් පනතට සිදු කළ යුතු සංශෝධන සිදු කිරීමටත්, ඒ සඳහා සංශෝධන ව්‍යවස්ථා කෙටුම්පත් කරන ලෙස නීති කෙටුම්පත් සම්පාදකවරයා වෙත උපදෙස් දීමටත් වැඩබලන කර්මාන්ත හා වාණිජ කටයුතු අමාත්‍ය ඒ.ඩී.චම්පික ප්‍රේමදාස මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.