• Increase font size
  • Default font size
  • Decrease font size

2018-03-20 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
70 වන ලෝක සෞඛ්‍ය දින සමාරම්භක උත්සවය කොළඹදී පැවැත්වීම
- 2018 වර්ෂයට යෙදී ඇති ලෝක සෞඛ්‍ය සංවිධානයේ 70වන සංවත්සරය 'සැමතැනම සැමටම විශ්ව සෞඛ්‍ය ආවරණය' යන තේමාව යටතේ සැමරීම සඳහා කටයුතු යොදා තිබේ. සංවර්ධිත රටවල පවතින සෞඛ්‍ය දර්ශකවල මට්ටමට ළඟා වී ඇති රටක් වශයෙන් ශ්‍රී ලංකාව තුළ මෙම සංවත්සර සැමරුම පැවැත්වීම යෝග්‍ය බව හඳුනාගෙන තිබේ. මේ සඳහා ලෝක සෞඛ්‍ය සංවිධානයේ නියෝජිතයින්, රටවල් 12ක සෞඛ්‍ය අමාත්‍යවරුන්, සාමාජික රටවල් 11ක නියෝජිතයින් සහ සෞඛ්‍ය ක්ෂේත්‍රය නියෝජනය කරනු ලබන ඉහළ මට්ටමේ නිලධාරින් සහභාගි වීමට නියමිතය.

ඒ අනුව, ලෝක සෞඛ්‍ය සංවිධානයේ 70 වන සැමරුම නිමිත්තෙන් පැවැත්වෙන ලෝක සෞඛ්‍ය දින සමාරම්භක උත්සවය 2018 අප්‍රේල් මස 07 වන දින කොළඹදී පැවැත්වීම වෙනුවෙන් සත්කාරකත්වය දැරීම පිණිස සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය (වෛද්‍ය) රාජිත සේනාරත්න මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.