• Increase font size
  • Default font size
  • Decrease font size

2018-03-20 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
එක්සත් ජාතීන්ගේ ලෝක ආහාර වැඩසටහනෙහි ශ්‍රී ලංකාවට අදාළ උපායමාර්ගික සැලැස්ම ක්‍රියාත්මක කිරීම
- ශ්‍රී ලංකා රජය, ලෝක ආහාර වැඩසටහන (WFP) සමඟ 1968 වර්ෂයේ සිට විවිධ වැඩසටහන් රාශියක් සාර්ථකව ක්‍රියාවට නංවනු ලැබ තිබේ. එක්සත් ජාතීන්ගේ තිරසර සංවර්ධන රාමුවට අනුකූල වන පරිදි, ලෝක ආහාර වැඩසටහන සමඟ ඒකාබද්ධව, 2018 - 2022 කාල පරිච්ඡේදය තුළ ශ්‍රී ලංකා රජය විසින් ක්‍රියාත්මක කිරීමට සැලසුම් කරනු ලැබ ඇති උපාය මාර්ගික සැලැස්ම මඟින් පහත අරමුණු මුදුන් පත් කරගැනීමට අපේක්ෂා කෙරේ.

අර්බුදකාරී තත්ත්වයන් නිසා බලපෑමට ලක් වූ පුද්ගලයින්ට වර්ෂය පුරා ආහාර සැපයීම

ආහාර සුරක්ෂිතතාව අඩු ප්‍රදේශවල සිටින පාසල් යන වයසේ පසු වන දරුවන් සඳහා වසර පුරා ආහාර සැපයීම.

2025 වර්ෂය වන විට, වයස අවුරුදු 5ට අඩු දරුවන්, නව යෞවන වියේ පසු වන දැරියන් හා ප්‍රජනන වයසේ පසුවන කාන්තාවන්ගේ පෝෂණ මට්ටම ඉහළ නැංවීම.

පහසුවෙන් අවදානමට ලක්වන කණ්ඩායම්වල සහ කුඩා පරිමාණ ගොවීන්ගේ ජීවනෝපාය මාර්ග ශක්තිමත් කිරීම සහ අවදානම් තත්ත්වයන්ට මුහුණ දීමේ හැකියාව වර්ධනය කිරීම.

එම උපාය මාර්ගික සැලැස්ම ක්‍රියාත්මක කිරීම සඳහා ඇමරිකානු ඩොලර් මිලියන 46.8ක් ලබා දීමට ලෝක ආහාර සංවිධානය විසින් එකඟතාව පළ කරනු ලැබ තිබේ. ඒ අනුව, එම ප්‍රද‍ාන ආධාර පිළිගැනීම පිණිස ලෝක ආහාර සංවිධානය සමඟ අවබෝධතා ගිවිසුමකට එළඹීමටත්, එකී උපායමාර්ගික සැලැස්ම අදාළ රේඛීය අමාත්‍යාංශ මඟින් ක්‍රියාත්මක කරවීමටත් ජාතික ප්‍රතිපත්ති හා ආර්ථික කටයුතු අමාත්‍යතුමා වශයෙන් ගරු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් ප්‍රතිපත්තිමය වශයෙන් අනුමත කරන ලදී.