• Increase font size
  • Default font size
  • Decrease font size

2018-03-06 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව සඳහා නව පනතක් හඳුන්වාදීම
- අල්ලස් හා දූෂණයට අදාළ නීති සංශෝධනය කිරීම සඳහා අමාත්‍ය මණ්ඩලයේ ප්‍රතිපත්තිමය අනුමැතිය දැනටමත් ලබා දෙනු ලැබ ඇති අතර, ඒ යටතේ 1954 අංක 11 දරන අල්ලස් පනත සංශෝධනය කිරීමේ කටයුතු මේ වන විට සිදු කෙරෙමින් පවතී. අල්ලස් පනත හා 1975 අංක 1 දරන වත්කම් හා බැරකම් ප්‍රකාශ කිරීමේ පනත යටතේ වන වැරදි සම්බන්ධයෙන් නඩු පැවරීමේ බලතල 1994 අංක 19 දරන පනත මඟින් ස්ථාපනය කරන ලද අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව වෙත පැවරී තිබේ.

19 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය මඟින් සංශෝධිත ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 156අ(1) ව්‍යවස්ථාව අනුව, අල්ලස් හෝ දූෂණ චෝදනාවක් සම්බන්ධයෙන් තමාගේම මෙහෙයවීමෙන් හෝ වෙනත් තැනැත්තෙකු විසින් කරන ලද පැමිණිල්ලක් මත විමර්ශන පැවත්වීමේ හා නඩු පැවරීමේ බලතල අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව වෙත පැවරීම සහ ශ්‍රී ලංකාව පාර්ශ්වයක් වන දූෂණ විරෝධී අන්තර්ජාතික සම්මුතීන් මෙරට ක්‍රියාත්මක කිරීම සඳහා විධිවිධාන සැලසීම සිදු කළ යුතු වේ.

මේ සඳහා 1994 අංක 19 දරන අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව පනත සංශෝධනය කිරීම වෙනුවට එම කොමිෂන් සභාව තවදුරටත් ශක්තිමත් කරමින් ස්වාධීන ආයතනයක් ලෙස ස්ථාපනය කිරීම සඳහා නව පනතක් හඳුන්වාදීම සුදුසු බව පෙනී ගොස් තිබේ. ඒ අනුව, එම කාර්යය සඳහා නව පනතක් කෙටුම්පත් කිරීමට නීති කෙටුම්පත් සම්පාදක වෙත උපදෙස් දීම පිණිස අතිගරු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.