• Increase font size
  • Default font size
  • Decrease font size

2018-03-06 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
ශ්‍රී ලංකා සබරගමුව විශ්වවිද්‍යාලයේ වෛද්‍ය පීඨය ස්ථාපිත කිරීම
- 1996 වර්ෂයේදී ජාතික විශ්වවිද්‍යාලයක් ලෙස ස්ථාපනය කරන ලද සබරගමුව විශ්වවිද්‍යාලය මේ වන විට පීඨ 7කින් සමන්විත විශ්වවිද්‍යාලයක් වේ. වෛද්‍ය අධ්‍යාපනය පුළුල් කිරීමේ රජයේ ප්‍රතිපත්තිය යටතේ වයඹ, මොරටුව හා සබරගමුව යන විශ්වවිද්‍යාලවල වෛද්‍ය පීඨ ආරම්භ කිරීම සඳහා 2018 වර්ෂයේ අයවැය මඟින් රුපියල් මිලියන 1,250ක් වෙනු කරනු ලැබ තිබේ. ඒ යටතේ වෛද්‍ය සිසුන් 75කු බඳවා ගනිමින් සබරගමුව විශ්වවිද්‍යාලයේ වෛද්‍ය පීඨය 2018 වර්ෂයේදී ආරම්භ කිරීමට සැලසුම් කර ඇත. මෙම වෛද්‍ය පීඨය සඳහා ගොඩනැඟිල්ලක් ඉදි කිරීමේ කටයුතු 2019 වර්ෂයේදී ඉදි කිරීමට සැලසුම් කර ඇති අතර, එතෙක් එම පීඨයේ කටයුතු පවත්වාගෙන යාම සඳහා ගොඩනැඟිලි පහසුකම් සලසා ගත යුතුව තිබේ.

ඒ අනුව, එම කාර්යය සඳහා යොදා ගැනීමේ අරමුණින්, රත්නපුර - කොළඹ ප්‍රධාන මාර්ගයේ බටුහේන පාසල අසල පිහිටි විගණකාධිපති දෙපාර්තමේන්තුවට අයත් ගොඩනැඟිලි සංකීර්ණය හා ඉඩම උසස් අධ්‍යාපන හා මහාමාර්ග අමාත්‍යාංශය වෙත නිත්‍යානුකූලව පවරාගැනීම පිණිස හිටපු උසස් අධ්‍යාපන හා මහාමාර්ග අමාත්‍ය ලක්ෂ්මන් කිරිඇල්ල මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව, ඒ සඳහා එම විෂය භාර වත්මන් අමාත්‍ය කබිර් හෂිම් මැතිතුමාගේද එකඟතාවද සැලකිල්ලට ගනිමින් අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.