• Increase font size
  • Default font size
  • Decrease font size

2018-03-06 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
වියදම් පිරිමැසුම්දායක තාක්ෂණය (NERD Technology) උපයෝගි කරගනිමින් රාජ්‍ය ආයතනවල ඉදි කිරීම් කටයුතු සිදු කිරීම
- ශ්‍රී ලංකා ජාතික ඉංජිනේරු පර්යේෂණ හා සංවර්ධන මධ්‍යස්ථානය (NERDC) විසින් වියදම් පිරිමැසුම්දායක ගොඩනැඟිලි ඉදි කිරීමේ තාක්ෂණ ක්‍රමවේදයන් පිළිබඳව පර්යේෂණ සිදු කරනු ලබන අතර, එම පර්යේෂණයන්හි ප්‍රතිඵල ජනතාව අතර ව්‍යාප්ත කිරීම සඳහා ද පියවර ගනු ලබයි. මේ වන විට මෙම වියදම් පිරිමැසුම්දායක තාක්ෂණ ක්‍රමවේදය (NERD Technology) භාවිත කරමින් රටේ විවිධ පළාත්වල පාසල් ගොඩනැඟිලි, ආරෝග්‍යශාලා සඳහා වන විද්‍යාගාර, සායනික ගොඩනැඟිලි, ගබඩා ගොඩනැඟිලි, හමුදාවන් සඳහා අවශ්‍ය නවාතැන් ගොඩනැඟිලි මෙන්ම විවිධ මාදිලියේ නිවාසද ඉදි කරනු ලැබ ඇත. අදාළ ගොඩනැඟිල්ල සැලසුම් කරන අවස්ථාවේ සිට මෙම ක්‍රමවේදය අනුගමනය කරනු ලැබුවහොත් ඉදි කිරීම් පිරිවැයෙන් අවම වශයෙන් 20% - 25%ක පමණ මූල්‍යමය ඉතිරියක් සලසා ගත හැකි වන අතර දැව, වැලි සහ කළුගල් භාවිතය ද අවම කිරීමට හැකියාව ඇත. මෙම තාක්ෂණය ගොඩනැඟිලි ඉදි කිරීම සඳහා යොදාගැනීම ඉදි කිරීම් කර්මාන්ත සංවර්ධන අධිකාරිය (CIDA) විසින් ද නිර්දේශ කරනු ලැබ තිබේ.

මෙම කරුණු සැලකිල්ලට ගෙන, රාජ්‍ය ආයතන සඳහා අවශ්‍ය ගොඩනැඟිලි ඉදි කිරීමේදී වියදම් පිරිමැසුම්දායක තාක්ෂණය උපයෝගි කරගැනීමට ඉඩ සලසමින්, රුපියල් මිලියන 50ක උපරිමයකට යටත්ව, එවැනි ඉදි කිරීම්වල උපදේශක සේවා, සැලසුම් කිරීම හා ඉදි කිරීම යන කාර්යයන්, ප්‍රසම්පාදන පටිපාටියෙන් බැහැරව ශ්‍රී ලංකා ජාතික ඉංජිනේරු පර්යේෂණ සහ සංවර්ධන මධ්‍යස්ථානය (NERDC) වෙත සෘජුවම ලබා දීම පිණිස විද්‍යා, තාක්ෂණ හා පර්යේෂණ අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.