• Increase font size
  • Default font size
  • Decrease font size

2018-03-06 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
ඝන අපද්‍රව්‍ය කළමනාකරණය සඳහා පළාත් පාලන ආයතන වෙත සුදුසු ඉඩම් ලබාගැනීම
- ඝන අපද්‍රව්‍ය කළමනාකරණයේදී එම ඝන අපද්‍රව්‍ය පරිසර හිතකාමී ක්‍රමවේදයන්ට අනුකූලව බැහැර ලීම සඳහා සුදුසු ඉඩම් සපයා ගැනීමේ දුෂ්කරතාවන්ට පළාත් පාලන ආයතන මුහුණ පා සිටී. ඇතැම් පළාත් පාලන ආයතන වෙත කසළ බැහැර කිරීම සඳහා ඉඩම් නිදහස් කර ඇතත් ඒවායේ නීත්‍යනුකූල අයිතිය ලබා දී නොතිබීම හේතුවෙන් එම ඉඩම් සනීපාරක්ෂක බිම් පිරවුම් ලෙස සංවර්ධනය කිරීමේදී බාධා එල්ල වී තිබේ.

එබැවින් අදාළ සියලු පාර්ශ්වයන්ගේ සහභාගිත්වයෙන් මේ සම්බන්ධයෙන් පවත්වන ලද සාකච්ඡාවේදී එකඟ වී ඇති පරිදි, කසළ බැහැර කිරීම සඳහා දැනටමත් නිදහස් කර ඇති ඉඩම් විධිමත් පරිදි අදාළ පළාත් පාලන ආයතන වෙත පවරා දීමටත්, සනීපාරක්ෂක බිම් පිරවුම් ලෙස සංවර්ධනය කිරීම මඟින් කසළ බැහැර කිරීම සඳහා යොදා ගැනීමට සුදුසු බවට හඳුනාගනු ලැබ ඇති, ඉඩම් ප්‍රතිසංස්කරණ කොමිෂන් සභාව හා රජ්‍ය වැවිලි සංස්ථාව සතු ඉඩම් කොට‍ස් සහ ප්‍රාදේශීය වැවිලි සමාගම් විසින් දීර්ඝකාලීන බදු පදනම මත භුක්ති විඳිනු ලබන ඉඩම් කොටස් ඉඩම් අත් කරගැනීමේ පනත යටතේ රජයට පවරා ගෙන පළාත් පාලන ආයතන වෙත වෙන් කර දීමටත් පළාත් සභා හා පළාත් පාලන අමාත්‍ය ෆයිසර් මුස්තාපා මැතිතුමා; වැවිලි කර්මාන්ත අමාත්‍ය නවින් දිසානායක මැතිතුමා; සහ ඉඩම් සහ පාර්ලිමේන්තු ප්‍රතිසංස්කරණ අමාත්‍ය ගයන්ත කරුණාතිලක මැතිතුමා ඉදිරිපත් කළ ඒකාබද්ධ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.