• Increase font size
  • Default font size
  • Decrease font size

2018-03-06 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
2005 අංක 34 දරන ගෘහස්ථ ප්‍රචණ්ඩ ක්‍රියා වැළැක්වීමේ පනත සංශෝධනය කිරීම
- ගෘහස්ථ ප්‍රචණ්ඩත්වය පිටු දැකීමේ අරමුණින් හඳුන්වා දෙන ලද 2005 අංක 34 දරන ගෘහස්ථ ප්‍රචණ්ඩ ක්‍රියා වැළැක්වීමේ පනත පසුගිය වර්ෂ 12ක පමණ කාලසීමාව තුළ ක්‍රියාත්මක කිරීමේදී නිරීක්ෂණය කරන ලද ගැටලු සැලකිල්ලට ගෙන එම පනත සංශෝධනය කිරීමේ අවශ්‍යතාව මතු වී තිබේ. ඒ සම්බන්ධයෙන් පරීක්ෂා කිරීම සඳහා පත් කරන ලද, අදාළ සියලු පාර්ශ්වයන්ගෙන් සමන්විත කමිටුව විසින් මහජන අදහස්ද ලබා ගැනීමෙන් අනතුරුව, එම පනත සංශෝධනය කිරීම සඳහා නිර්දේශ ඉදිරිපත් කරනු ලැබ තිබේ.

ගෘහස්ථ ප්‍රචණ්ඩත්වයට ලක්වන වැඩිහිටියන් හෝ දරුවන්‍ වෙනුවෙන් නීතිමය ක්‍රියාමර්ග ගත හැකි පුද්ගල කාණ්ඩ සංඛ්‍යාව වැඩි කිරීම, පැමිණිලි ගොනු කිරීමේ ක්‍ර‍මවේදය ලිහිල් කිරීම, වින්දිතයාගේ රැකවරණය තහවුරු කිරීම පිණිස අනිවාර්ය උපදේශනය ලබා දීමේ අවශ්‍යතාව ඉවත් කිරීම, පසුවිපරම් කිරීමේ දැනට පවතින ක්‍රමවේදය සංශෝධනය කිරීම, තාවකාලික ආරක්ෂණ නියෝග කාර්යක්ෂම ලෙස ක්‍රියාත්මක කිරීම සඳහා විධිවිධාන සැලසීම ආදී සංශෝධන කිහිපයක් ඒ අනුව ඉදිරිපත් වී තිබේ. එම සංශෝධන ඇතුළත් කරමින්, 2005 අංක 34 දරන ගෘහස්ථ ප්‍රචණ්ඩ ක්‍රියා වැළැක්වීමේ පනත සංශෝධනය කිරීම පිණිස කාන්තා හා ළමා කටයුතු අමාත්‍ය චන්ද්‍රානි බණ්ඩාර මැතිතුමිය ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.