• Increase font size
  • Default font size
  • Decrease font size

2018-03-06 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
කොළඹ සහ කොළොන්නාව ප්‍ර‍ෙද්ශවල ගංවතුර පාලනය කිරීම
- කොළඹ අගනගර ආශ්‍රිත නාගරික සංවර්ධන ව්‍යාපෘතිය යටතේ ගංවතුර පාලනය ඉලක්ක කර ගනිමින් සිදු කරනු ලබන ප්‍රධාන සංවර්ධන කාර්යයක් ලෙස කොළොන්නාව ඇළ මාර්ග හැරවුම් යෝජනා ක්‍රමය හඳුනාගනු ලැබ තිබේ. කැලණි නදියේ අඩු ජල මට්ටමක් පවතින කාලසීමාවන්හිදී කොළඹ ප්‍රදේශයට ඇද හැලෙන වර්ෂා ජලය එයට බැසයාම සඳහා පවතින ඇළ මාර්ග විශාල කිරීම‍ත්, කැලණි නදියේ ඉහල ජල මට්ටමක් පවතින අවස්ථාවන්හිදී කොළොන්නාව ප්‍රදේශයේ ඇති වන ගංවතුර තත්ත්වය අවම කිරීමට අවශ්‍ය කටයුතු යෙදීමත් මෙමඟින් අපේක්ෂා කෙරේ.

ඒ අනුව, සේදවත්ත - අඹතලේ පාරේ පිහිටි කිත්තම්පහුව ඇළ මාර්ගය හරහා පිටවාන ආසන්නයේ ඇති දියදොර ව්‍යූහය නැවත ඉදි කර ඇළ මාර්ගයේ ගලා බැස්මට බාධා වන අවහිරතා ඉවත් කිරීමටත්, ඉවුරු සංරක්ෂණ කටයුතු සිදු කිරීමටත් සැලසුම් කර තිබේ. වාරිමාර්ග දෙපාර්තමේන්තුවේ සහ දේශගුණික බලපෑම් අවම කිරීමේ ව්‍යාපෘතියේ නිලධාරින්ගේ ද සහයෝගය ලබාගනිමින් මෙම ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීම පිණිස මහානගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍ය පාඨලී චම්පික රණවක මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.