• Increase font size
  • Default font size
  • Decrease font size

2018-03-06 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
ගෘහස්ථ සේවකයන්ගේ අයිතිවාසිකම් ආරක්ෂා කිරීම සඳහා කම්කරු නීතිරීති සංශෝධනය කිරීම
- ශ්‍රී ලංකාව තුළ සේවයේ යොදවා ඇති ගෘහස්ථ සේවකයින් පිළිබඳ සංඛ්‍යාලේඛන නොමැති වුවත්, එවැනි විශාල පිරිසක් සේවයේ යෙදෙන බව පැහැදිලි වේ. එම ගෘහස්ථ කම්කරුවන්ගේ අයිතීන් ආරක්ෂා කිරීම සඳහා දැනට පවතින කම්කරු නීතිරීති ප්‍රමාණවත් නොවන බැවින්, අඩු වැටුපකට සේවයේ යෙදවීම, නිවාඩු ලබා නොදීම සහ සමාජ ආරක්ෂණයක් නොලැබීම ආදී අවාසි සහගත තත්ත්වයන්ට එම කම්කරු ප්‍රජාව මුහුණපාන බව හඳුනාගනු ලැබ තිබේ. කාර්මික ආරවුල් පනත, සේවක අර්ථසාධක අරමුදල් පනත හා අනෙකුත් කම්කරු පනත් මඟින් ගෘහස්ථ කම්කරුවන් ඉවත් කර ඇති අතර, ඒ හේතුවෙන් එම කම්කරුවන්ගේ අයිතිවාසිකම් ආරක්ෂා කරගැනීමට කම්කරු දෙපාර්තමේන්තුවට මැදිහත් වීමට නොහැකි වී ඇත.

ගෘහස්ථ කම්කරුවන්ගේ අයිතිවාසිකම් ආරක්ෂා කිරීමේ අවශ්‍යතාව 'ජාතික මානව හිමිකම් ක්‍රියාකාරී සැලැස්ම 2017 - 2021' මඟින්ද හඳුනාගනු ලැබ තිබේ. ඒ අනුව, කම්කරු, වෘත්තීය සමිති සබඳතා හා සබරගමු සංවර්ධන අමාත්‍ය ඩබ්ලිව්.ඩී.ජේ.සෙනෙවිරත්න මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාවක් සැලකිල්ලට ගනිමින්, ගෘහස්ථ සේවකයින්ගේ අයිතිවාසිකම් සුරක්ෂිත කිරීම උදෙසා අවශ්‍ය නීතිරීති සම්පාදනය කිරීම පිණිස අමාත්‍ය මණ්ඩලය විසින් ප්‍රතිපත්තිමය වශයෙන් අනුමැතිය ලබා දෙන ලදී.