• Increase font size
  • Default font size
  • Decrease font size

2018-03-06 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
දුම්රිය හරස් මාර්ග ආරක්ෂණ පද්ධති සවි කිරීම හා උතුරු දුම්රිය මාර්ගය පුනරුත්ථාපන කිරීම කඩිනම් කිරීම සඳහා ව්‍යාපෘති කළමනාකරණ ඒකක පිහිටුවීම
- ශ්‍රී ලංකාවේ දුම්රිය මාර්ග ජාලයේ දිග කිලෝමීට‍ර 1,450ක් වන අතර, එහි දුම්රිය හරස් මාර්ග 1,337ක් පවතියි. ඉන් දුම්රිය හරස් මාර්ග 520ක් දැනටමත් සුරක්ෂිත කරනු ලැබ ඇති අතර, 2018 අයවැය ප්‍රතිපාදන යටතේ තවත් දුම්රිය හරස් මාර්ග 400ක් සඳහා දුම්රිය ආරක්ෂණ පද්ධති සවි කිරීමට අවශ්‍ය පියවර ගැනෙමින් පවතියි. තවදුරටත් ඉතිරි සියලුම දුම්රිය හරස් මාර්ග ආවරණය වන පරිදි දුම්රිය හරස් මාර්ග ඉදි කිරීමේ ව්‍යාපෘතියක් හංගේරියානු රජයේ ආධාර යටතේ ක්‍රියාත්මක කිරීමට යෝජනා වී තිබේ.

තවද, කොළඹ සිට යාපනය දක්වා දුම්රිය ගමන් කාලය විනාඩි 40කින් පමණ අඩු වන පරිදි, පැයට කිලෝමීටර 120ක වේගයෙන් උතුරු දුම්රිය මාර්ගයේ දුම්රිය ධාවනය කිරීමට හැකි වන අයුරින්, මහව මංසන්ධියේ සිට ඕමන්ත දක්වා දුම්රිය මාර්ග කොටස පුනරුත්ථාපනය කිරීමටත්, පොල්ගහවෙල සිට කුරුණෑගල දක්වා ද්විත්ව මාර්ගය ඉදි කිරීම හා සංඥා පද්ධතිය සවි කිරීමටත් අවශ්‍ය කටයුතු ඉන්දියානු රජයේ ආධාර යටතේ ආරම්භ කරනු ලැබ තිබේ. එම ව්‍යාපෘති කඩිනමින් ක්‍රියාත්මක කිරීම සඳහා ව්‍යාපෘති කළමනාකරණ ඒකක පිහිටුවීමටත්, හංගේරියානු අපනයන - ආනයන බැංකුවේ මූල්‍යාධාර යටතේ දුම්රිය හරස් මාර්ග ආරක්ෂණ පද්ධති සවි කිරීමේ ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීමටත් ප්‍රවාහන හා සිවිල් ගුවන් සේවා අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මැතිතුමා ඉදිරිපත් කළ යෝජනා අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.