• Increase font size
  • Default font size
  • Decrease font size

2018-03-06 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
සංගණන ඒකක ලැයිස්තුගත කිරීම
- ජන හා නිවාස සංගණනය පදනම් කරගනිමින් මුළු දිවයිනම ආවරණය වන පරිදි සංගණන ඒකක, එනම් නිවාස, සමූහ වාසස්ථාන හා වාසය සඳහා නොවන ස්ථාන ලැයිස්තුගත කිරීම, ජන ලේඛන හා සංඛ්‍යා ලේඛන දෙපාර්තමේන්තුව විසින් සිදු කරනු ලැ‍බේ. එම දෙපාර්තමේන්තුව විසින් පවත්වනු ලබන සියලුම සමීක්ෂණ සඳහා වන සමීක්ෂණ රාමුව ලෙස මෙම ලැයිස්තුව භාවිත කරනු ලැබේ. අවසන් වරට ජන හා නිවාස සංගණනය පවත්වන ලද 2012 වර්ෂයේ සිට මේ දක්වා කාලසීමාව තුළ ඇති වූ ආපදා, නව ජනාවාස ඇති කිරීම වැනි හේතු නිසා මෙම සමීක්ෂණ රාමුව සැලකිය යුතු ලෙස වෙනස් වී ඇත. ජන හා නිවාස සමීක්ෂණ නිවැරදිව සිදු කිරීමට මෙන්ම, ආපදා කළමනාකරණය, තිරසර සංවර්ධන අභිමතාර්ථ ළඟා කරගැනීම ආදී කාරණාවන්හිදී ද මෙම දත්ත යොදා ගනු ලබන හෙයින් යාවත්කාලීන තොරතුරු තිබීම අත්‍යවශ්‍ය වේ.

එබැවින්, දිස්ත්‍රික් හා ප්‍රාදේශීය පරිපාලන යන්ත්‍රණයන්හි සහාය ද ලබාගනිමින්, මුළු දිවයිනම ආවරණය පරිදි සංගණන ඒකක ලැයිස්තුගත කිරීම 2018 වර්ෂය තුළ සිදු කිරීමටත්, ඉන් ඉදිරියට සෑම වසර 02කට වරක් එම ක්‍රියාවලිය සිදු කිරීමටත් ජාතික ප්‍රතිපත්ති හා ආර්ථික කටයුතු අමාත්‍යතුමා වශයෙන් ගරු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මැතිතුමා ඉදිරිපත් කළ යෝජනා අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.