• Increase font size
  • Default font size
  • Decrease font size

2018-03-06 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
ගිරිදර ජලසම්පාදන ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීම සඳහා අරමුදල් සලසා ගැනීම
- දොම්පේ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ ග්‍රාම නිලධාරි වසම් 18කට අයත් ප්‍රදේශවල පානීය ජල ගැටලු සඳහා විසඳුම් ලබා දීමේ අරමුණින්, ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය විසින් ප්‍රමුඛ ව්‍යාපෘතියක් ලෙස හඳුනාගනු ලැබ ඇති ගිරිදර ජලසම්පාදන ව්‍යාපෘතිය රුපියල් මිලියන 513.28ක පිරිවැයක් යටතේ ක්‍රියාත්මක කිරීම සඳහා අමාත්‍ය මණ්ඩලය විසින් දැනටමත් අනුමැතිය ලබා දෙනු ලැබ තිබේ.

එම ව්‍යාපෘතිය සඳහා අවශ්‍ය අරමුදල් සලසා ගැනීම පිණිස දේශීය බැංකු වෙතින් යෝජනා කැඳවනු ලැබ ඇති අතර, එහිදී මහජන බැංකුව වෙතින් මෙම ණය මුදල ලබාගැනීමට තීරණය කරනු ලැබ තිබේ. ඒ අනුව, ගිරිදර ජල සම්පාදන ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීමට අවශ්‍ය රුපියල් මිලියන 513.28ක මුදල ලබාගැනීමට මහජන බැංකුව සමඟ ණය ගිවිසුමකට එළඹීම පිණිස ජාතික ජලසම්පාදන හා ජලාපවහන මණ්ඩලය වෙත බලය පැවරීම සඳහා ජාතික ප්‍රතිපත්ති හා ආර්ථික කටයුතු අමාත්‍යතුමා වශයෙන් ගරු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.