• Increase font size
  • Default font size
  • Decrease font size

2018-02-27 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
සයිබර් ආරක්ෂාව පිළිබඳ අභියෝගයන්ට සාර්ථක ලෙස මුහුණදීම සඳහා පියවර ගැනීම
- සයිබර් අපරාධ හා සයිබර් තර්ජන වැඩිවීම තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය සහ අන්තර්ජාලයේ ප්‍රවර්ධනයට සෘණාත්මකව බලපා තිබේ. ශ්‍රී ලංකාව මෙම ගැටලුව සම්බන්ධයෙන් දැනටමත් අවධානය යොමු කර ඇති අතර සයිබර් ආරක්ෂාව පිළිබඳ කටයුතු කරනු ලබන ජාතික මධ්‍යස්ථානය ලෙස 'ශ්‍රී ලංකා පරිගණක හදිසි ප්‍රතිචාර සංසදය' (Sri Lanka Computer Emergency Readiness Team - Sri Lanka CERT/CC) පිහිටුවීමට කටයුතු කරනු ලැබ තිබේ. 2005 වර්ෂයේදී ස්ථාපනය කරන ලද ශ්‍රී ලංකා පරිගණක හදිසි ප්‍රතිචාර සංසදය, ශ්‍රී ලංකා තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ නි‍යෝජිතායතනයට (ICTA) අයත් පරිපාලිත ආයතනයකි. අන්තර් ජාතික පරිගණක හදිසි ප්‍රතිචාර කණ්ඩායම් හා සයිබර් ආරක්ෂාව පිළිබඳ අනිකුත් ආයතන සමඟ සමීපව ක්‍රියා කරමින් ශ්‍රී ලංකාවේ රාජ්‍ය ආයතන, නීති බලාත්මක කිරීමේ ආයතන, අධිකරණ, ආරක්ෂක, බැංකු හා මූල්‍ය සේවා අංශය හා පුද්ගලික අංශයේ පාර්ශ්වකරුවන්ට තොරතුරු හා සන්නිවේදන තාක්ෂණයට අදාළ ආරක්ෂාව සැලසීම සම්බන්ධයෙන් ජාතික මට්ටමේ සේවාවක් එම ආයතනය මඟින් සපයනු ලබයි.

සයිබර් ආරක්ෂාව සම්බන්ධයෙන් රාජ්‍ය ආයතන හා පොදු මහජනතාවගේ ඉල්ලුම ඉහළ යමින් පවතින හෙයින් ශ්‍රී ලංකා පරිගණක හදිසි ප්‍රතිචාර සංසදයේ කාර්යභාරයේ හා ක්‍රියාකාරකම්වල වැදගත්කම වැඩි වී තිබේ. එහි මෙහෙයුම් නොකඩවා පවත්වාගෙන යාම සඳහා සහ ක්‍රියාකාරකම් වැඩිදියුණු කිරීම සඳහා එම සංසදය විදුලි සංදේශ හා ඩිජිටල් යටිතල පහසුකම් අමාත්‍යාංශය යටතට පවරා ගැනීම පිණිස විදුලි සංදේශ හා ඩිජිටල් යටිතල පහසුකම් අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.