• Increase font size
  • Default font size
  • Decrease font size

2018-02-27 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
ද්‍රවීකරණය කරන ලද ස්වාභාවික වායු පර්යන්තයක් (LNG) සහ පාවෙන ස්වාභාවික වායු පර්යන්තයක් (FSRU) ස්ථාපිත කිරීම සඳහා ශ්‍රී ලංකා, ඉන්දියනු සහ ජපන් ආයතන අතර ත්‍රෛපාර්ශ්වීය අවබෝධතා ගිවිසුමක් ඇති කරගැනීම
- ශ්‍රී ලංකා රජය විසින් ඉන්දියානු රජය සහ ජපාන රජය සමඟ ඒකාබද්ධව කොළඹ, කෙරවළපිටිය ප්‍රදේශයේ ද්‍රවීකරණය කරන ලද ස්වාභාවික වායු පර්යන්තයක් සහ පාවෙන ස්වාභාවික වායු පර්යන්තයක් ස්ථාපිත කිරීමටත්, විදුලි ජනන කටයුතු සඳහා එම ස්වාභාවික වායු බෙදා හැරීමේ යටිතල පහසුකම් ස්ථාපනය කිරීමටත් අවබෝධතා ගිවිසුමක් අත්සන් කරනු ලැබ තිබේ. මෙම ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීම සඳහා පිහිටුවනු ලබන හවුල් ව්‍යාපාරයෙහි 15%ක කොටස් හිමිකාරිත්වයක් ශ්‍රී ලංකා රජයට අයත් සීමාසහිත ශ්‍රී ලංකා ගෑස් ටර්මිනල් සමාගම වෙතද, 47.5%ක කොටස් හිමිකාරිත්වයක් ඉන්දියානු රජය විසින් නම් කරනු ලැබ ඇති පෙට්ට්‍රොනෙට් එල්එන්ජී සමාගම (Petronet LNG Ltd) වෙතද, 37.5%ක කොටස් හිමිකාරිත්වයක් ජපන් රජය විසින් නම් කර ඇති සොජිට්ස් සමාගම (Sojitz Corporation) සහ මිට්සුබිෂි සමාගම අතර වන හවුල්කාරිත්වය වෙතද පිරිනැමීමට යෝජනා වී තිබේ.

ඒ අනුව, මූලිකව ශක්‍යතා අධ්‍යයනයක් සිදු කිරීමේ අරමුණින් අදාළ පාර්ශ්ව අතර අවබෝධතා ගිවිසුමකට අත්සන් තැබීමටත්, යෝජිත හවුල් ව්‍යාපාරය ස්ථාපිත කිරීම සඳහා ඉන්දියානු සහ ජපාන පාර්ශ්ව සමඟ ගිවිසුම්වලට එළඹීමට ශ්‍රී ලංකා ගෑස් ටර්මිනල් සමාගමට බලය පැවරීමටත් සංවර්ධන උපායමාර්ග හා ජාත්‍යන්තර වෙළඳ අමාත්‍ය මලික් සමරවික්‍රම මැතිතුමා; සහ වරාය හා නාවික කටයුතු අමාත්‍ය මහින්ද සමරසිංහ මැතිතුමා ඉදිරිපත් කළ ඒකාබද්ධ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.