• Increase font size
  • Default font size
  • Decrease font size

2018-02-27 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
බහුදින ධීවර කාර්මිකයින් විසින් භාවිත කරනු ලබන මරුවැල් පන්න ක්‍රමයේදී ඇම වශයෙන් යොදා ගැනෙන දැල්ලන් හා වේක්කයන් ආනයනය සඳහා බදු සහන ලබා දීම
- බහුදින ධීවර කාර්මිකයින් විසින් ටූනා මත්ස්‍ය සම්පත් ‍ෙනළා ගැනීම සඳහා භාවිත කරනු ලබන මරුවැල් පන්න ක්‍රමයේදී ඇම වශයෙන් දැල්ලන්, වේක්කයන්, සාලයන් හා පියාමැස්සන් යන මසුන් යොදා ගනු ලැබේ. ඒ සඳහා වාර්ෂිකව මෙට්‍රික් ටොන් 7,000ක පමණ මසුන් ප්‍රමාණයක් අවශ්‍ය වුවත්, එයින් දේශීයව සපයාගත හැක්කේ මෙට්‍රික් ටොන් 3,000ක් පමණි. එබැවින්, ඇම සඳහා දැල්ලන්, වේක්කයන් වැනි මසුන් ආනයනය කර ධීවර සංගම් අතර බෙදා හැරීම සිදු කෙරෙන අතර, මනුෂ්‍ය පරිභෝජනයට යොදාගත හැකි මත්ස්‍ය විශේෂ වීම හේතුවෙන් එම මසුන් ආනයනයේදී සාමාන්‍ය ඇම ආනයනය සඳහා ලබා දෙනු ලබන ආනයනික බදු සහන හිමි නොවේ.

ඇම සඳහා ආනයනය කරනු ලබන මසුන්ගේ මිල අධික වීම මෙරට ටූනා මත්ස්‍ය කර්මාන්තයට අහිතකර ලෙස බලපා තිබේ. එබැවින්, ධීවර හා ජලජ සම්පත් අමාත්‍යාංශයේ නිර්දේශය මත, ධීවර සමිති අතර බෙදා දීම සඳහාම පමණක් ආනයනය කෙරෙන දැල්ලන්, වේක්කයින් වැනි ඇම වශයෙන් භාවිත කෙරෙන මසුන් සඳහා ආනයනික බදු සහන ලබාදීමටත්, ඒ යටතේ ආනයනය කෙරෙන, මාළු ඇම දේශීය පරිභෝජනය සඳහා යොමු නොකිරීමට අවශ්‍ය පියවර ගැනීමටත් ධීවර හා ජලජ සම්පත් සංවර්ධන අමාත්‍ය මහින්ද අමරවීර මැතිතුමා ඉදිරිපත් කළ යෝජනා අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.