• Increase font size
  • Default font size
  • Decrease font size

2018-02-27 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
මධ්‍යම අධිවේගී මාර්ගය සමඟ සම්බන්ධ වන, මහනුවර සහ ඒ අවට ප්‍රදේශවල පිහිටි මාර්ග වැඩිදියුණු කිරීම
- මධ්‍යම අධිවේගී මාර්ගයේ කඩවත සිට කුරුණෑගල දක්වා වන 1 කොටසෙහි සහ 2 කොටසෙහි ඉදි කිරීම් කටයුතු දැනටමත් ආරම්භ කරනු ලැබ තිබේ. පොතුහැර සිට ගලගෙදර දක්වා වන එහි 3 කොටස ඉදි කිරීමට නියමිතව ඇති අතර, එමඟින් මහනුවර නගරය සහ මධ්‍යම පළාතේ අනෙකුත් නගර, යෝජිත ගලගෙදර අන්තර් හුවමාරුව ඔස්සේ අධිවේගී මාර්ගජාලය හා සම්බන්ධ කෙරෙනු ඇත. මෙහි ප්‍රතිඵලයක් ලෙස ගලගෙදර සිට මහනුවර දක්වා වන මහාමාර්ග කොටසෙහි වාහන ගමනාගමනය ඉහළ යනු ඇතැයි අපේක්ෂා කෙරේ. එබැවින් කටුගස්තොට සිට ගලගෙදර දක්වා වන මාර්ග කොටස මංතීරු 4ක මාර්ගයක් ලෙස වැඩිදියුණු කිරීමටත්, කටුගස්තොට නගරයේ මංතීරු 4කින් යුත් නව අතුරු මාර්ගයක් ඉදි කිරීමටත් යෝජනා වී තිබේ.

මේ සඳහා අරමුදල් සැපයීමට ඉන්දියාවේ අපනයන ආනයන බැංකුව (EXIM Bank of India) එකඟ වී තිබේ. ඒ අනුව, එම මාර්ග සංවර්ධන කටයුතු සම්බන්ධයෙන් විස්තරාත්මක ව්‍යාපෘති වාර්තාවක් සැකසීම සඳහා උපදේශක සේවා සැපයීම පිණිස ඉන්දියාවේ RITES Ltd. සමාගම පත් කිරිම පිණිස හිටපු උසස් අධ්‍යාපන හා මහාමාර්ග අමාත්‍ය ලක්ෂ්මන් කිරිඇල්ල මැතිතුමා ඉදිරිපත් කර තිබූ යෝජනාව, ඒ සඳහා එම විෂය භාර වත්මන් අමාත්‍ය කබිර් හෂිම් මැතිතුමාගේ එකඟතාවද සැලකිල්ලට ගනිමින්, අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.