• Increase font size
  • Default font size
  • Decrease font size

2018-02-27 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
දේශගුණ විපර්යාස අභියෝග හමුවේ ජල සම්පත ඵලදායි අයුරින් කළමනාකරණය
- ශ්‍රී ලංකාව‍ට වාර්ෂිකව මිලිමීටර 2,000කට වැඩි වර්ෂාපතනයක් ලැබෙන අතර, ඉන් පෝෂණය වන ගංගාවන් 103කට ආසන්න ප්‍රමාණයක් රටේ සියලුම ප්‍රදේශ ආවරණය වන පරිදි ගලා ගොස් මුහුදට එකතු වේ. එහෙත්, මෙම වර්ෂාපතනය සිදුවන කාලයන්හි හා ස්ථානයන්හි ඇති වෙනස්කම් සහ ජලවහන රටාවේ පැතිර යාමේ වෙනස්කම් හේතුවෙන් දිවයිනේ 65%ක භූමි ප්‍රමාණයක් වියළි කලාපය ලෙස හඳුන්වන අතර, එම කලාපය නිරන්තර ජල හිඟයන්ට හා නියඟයන්ට භාජනය වේ. දේශගුණික විපර්යාසයන්ගේ අහිතකර බලපෑම්වලට ශ්‍රී ලංකාව ලක්වීමේ අවදානම ද ඉහළ ගොස් ඇති අතර, කෙටි කාලසීමාවක් තුළ ඇති වන තීව්ර වර්ෂාපතනය ආදී වර්ෂාපතන රටාවේ වෙනස්කම් මෙන්ම වර්ෂයක් තුළ වියළි කාලගුණයක් පවතින දින ගණන ඉහළ යාම ද පසුගිය කාලසීමාව තුළ නිරීක්ෂණය කරනු ලැබ තිබේ.

මෙම දේශගුණික විපර්යාසවල ප්‍රතිවිපාක හේතුවෙන් ඇති වන, පුරෝකථනය කළ නොහැකි ගංවතුර, නායයාම්, නියඟය වැනි ආපදා තත්ත්වයන් හේතුවෙන් දිවයිනේ කෘෂිකර්මාන්තය හා ආහාර සුරක්ෂිතතාව, වාරි ජල සැපයුම, පානීය ජල සැපයුම, ජල විදුලිබල නිෂ්පාදනය සහ ජනතාවගේ ජීවන තත්ත්වයට දැඩි බලපෑම් එල්ල වේ. මෙම අභියෝග ජයගැනීම සඳහා මෙරට ජලසම්පත සංවර්ධනය, සංරක්ෂණය හා කළමනාකරණය සඳහා පුළුල් හා ඒකාබද්ධ ප්‍රතිපත්ති රාමුවක් සකස් කිරීමේ අවශ්‍යතාව මතු වී තිබේ.

ඒ අනුව, අදාළ සියලු ආයතන සම්බන්ධ කරගනිමින්, ප්‍රශස්ත ජලසම්පත් කළමනාකරණයක් වෙනුවෙන් ඒකාබද්ධ කළමනාකරණ යන්ත්‍රණයක් ස්ථාපිත කිරීම පිළිබඳ නිර්දේශ, මාස තුනක් තුළ ඉදිරිපත් කිරීම සඳහා ජනාධිපති ලේකම්වරයාගේ මූලිකත්වයෙන් යුතු ජනාධිපති කාර්යසාධක බලකායක් ස්ථාපනය කිරීම පිණිස මහවැලි සංවර්ධන හා පරිසර අමාත්‍යතුමා වශයෙන් අතිගරු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.