• Increase font size
  • Default font size
  • Decrease font size

2018-02-20 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
කෘෂිකාර්මික කටයුතු සඳහා දීර්ඝකාලීන බදු පදනම මත ලබා දෙන ඉඩම් සඳහා බදු සහන ලබා දීම
- 1947 අංක 8 දරන රජයේ ඉඩම් ආඥා පනත යටතේ නිවාස ඉදි කිරීමට හා වාණිජ කටයුතු සඳහා බදු පදනම මත ඉඩම් බැහැර කිරීමේදී බදු කරුවන් වෙත බදු සහන ලබා දෙනු ලැබ තිබේ. එහෙත් වාණිජ පදනමින් සිදු කෙරෙන කෘෂිකාර්මික කටයුතු සඳහා එම ආඥාපනත යටතේ රජයේ ඉඩම් ලබා දීමේදී වාණිජ පදනමින් ඉඩම් බැහැර කිරීමේ සාමාන්‍ය ක්‍රමවේදය අනුගමනය කෙරෙන බැවින් මහා පරිමාණ කෘෂිකාර්මික සංවර්ධන කටයුතු සඳහා රජයේ ඉඩම් නිකුත් කිරීම සීමා වී තිබේ.

ඒ අනුව, රටේ ‍කෘෂි ක්ෂේත්‍රයේ සංවර්ධනය ඉලක්ක කරගනිමින් කෘෂිකර්ම කටයුතු සඳහා රජයේ ඉඩම් ආඥාපනත යටතේ දීර්ඝකාලීන බදු පදනම මත ඉදිරියේදී ඉඩම් ලබා දීමේදී පහත සඳහන් බදු සහන ලබා දීම පිණිස ඉඩම් සහ පාර්ලිමේන්තු ප්‍රතිසංස්කරණ අමාත්‍ය ගයන්ත කරුණාතිලක මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.

(i) වාර්ෂික බදු මුදල මෙන් තුන්ගුණයක් ලෙස එක් වරක් පමණක් අය කරනු ලබන වාර මුදල අය නොකිරීම.

(ii) සෑම වර්ෂ 05කට වරක් 50%කින් වැඩි වන පරිදි සිදු කරනු ලබන බදු මුදල් ප්‍රතිශෝධනය වෙනුවට, බදු ප්‍රතිශෝධනය කරනු ලබන වර්ෂයට පෙර වර්ෂයේ පැවති බදු මුදලට 20%ක ප්‍රමාණයක් පමණක් එකතු කිරීමෙන් ප්‍රතිශෝධනය කිරීම.

(iii) පළමු බදු කාලය අවසන් වීමෙන් පසු බදු කාලය නැවත දීර්ඝ කිරීමේදී, මුල් බදු කාලය අවසානයේ අය කළ බදු මුදලට 20%ක ප්‍රමාණයක් එකතු කර ලබා ගන්නා අගය දෙවන බදු කාලයේ ආරම්භක බදු මුදල ලෙස සැලකීම.