• Increase font size
  • Default font size
  • Decrease font size

2018-02-20 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
තිරසර නාගරික සංවර්ධන ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීම
- මහානගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍යාංශය මඟින් ක්‍රියාත්මක කරනු ලබන උපායමාර්ගික නගර සංවර්ධන වැඩසටහන යටතේ මහනුවර, ගාල්ල, යාපනය, අනුරාධපුරය, පොළොන්නරුව, ත්‍රිකුණාමලය, මඩකළපුව, බදුල්ල, රත්නපුරය, මාතර, කුරුණෑගල, නුවරඑළිය සහ දඹුල්ල යන නගර 13 'උපායමාර්ගික නගර' ලෙස සංවර්ධනය කිරීම සඳහා හඳුනාගෙන තිබේ. ඒ යටතේ ක්‍රියාත්මක කෙරෙන 'තිරසර නාගරික සංවර්ධන ව්‍යාපෘතිය' මඟින් රට පුරා විහිදී ඇති ඉහළ සංවර්ධන විභවතාවයක් සහිත ආර්ථික ජාලයන්ට (Corridors) අයත් වන, කොළඹින් බැහැර පිහිටි නාගරික කේන්ද්‍රස්ථාන සංවර්ධනය කෙරෙනු ඇත.

එහිදී නගර අතර මූලික සේවා වැඩිදියුණු කිරීම මඟින් විශාල යටිතල පහසුකම්වල පවතින පරතරයන් අවම කිරීම, නාගරික කේන්ද්‍රස්ථාන අතර සංචලතාව හා සම්බන්ධතාව වැඩිදියුණු කිරීම, නාගරික පහසුකම් දියුණු කිරීම, දේශීය උරුමයන් සංරක්ෂණය කිරීම, වැසි ජල අපවහන කළමනාකරණය, ඝන අපද්‍රව්‍ය කළමනාකරණය, සනීපාරක්ෂාව හා බැඳුණු කාර්යයන් වැනි පාරිසරික සංරක්ෂණය වැඩිදියුණු කිරීම සහ එම නගරවල ජීවත්වීමට ඇති හැකියාව වැඩිදියුණු කිරීම යනාදිය කෙරෙහි අවධානය යොමු කෙරෙනු ඇත. ඒ අනුව, යෝජිත තිරසර නාගරික සංවර්ධන ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීමටත්, ඒ සඳහා අවශ්‍ය අරමුදල් සලසා ගැනීමටත් මහානගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍ය පාඨලී චම්පික රණවක මැතිතුමා ඉදිරිපත් කළ යෝජනා අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.