• Increase font size
  • Default font size
  • Decrease font size

2018-02-20 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
මීතොටමුල්ල ඝන අපද්‍රව්‍ය බහාලුම් ස්ථානය නායයෑම හේතුවෙන් ඉවත් කළ නිවාස හිමියන් සඳහා රු.50,000/- දීමනාව ලබා දීම
- මීතොටමුල්ල ඝන අපද්‍රව්‍ය බහාලුම් ස්ථානය නායයෑම හේතුවෙන් හානියට පත් හා අවදානම් කලාපයෙන් ඉවත් කරන ලද පවුල් සඳහා විකල්ප නිවාස හෝ නිවාස වන්දි ලබා දෙන තෙක් කුලී දීමනා ගෙවීම සඳහා අවශ්‍ය ක්‍රියාමාර්ග රජය විසින් දැනටමත් ගනු ලැබ තිබේ. එසේම එම ප්‍රදේශයේ අවදානම් කලාපය තුළ තිබෙන නිවාස පිහිටි ඉඩම් සහ නායයාමෙන් හානියට පත් නිවාස පිහිටි ඉඩම් රජයට පවරා ගැනීමටත්, හානියට පත් ප්‍රදේශයේ පිහිටා තිබූ පෞද්ගලික ඉඩම් සඳහා වන්දි ගෙවීමටත් අමාත්‍ය මණ්ඩලය විසින් මීට පෙර අනුමැතිය ලබා දෙනු ලැබ ඇත.

එසේ විකල්ප නිවාස ලබා නොගත්, ආපදාව හේතුවෙන් හානියට පත් වූ හෝ අවදානම් කලාපයේ නිවාස පිහිටි මෙතෙක් නිවාස තක්සේරු වන්දි ලබා දී නොමැති පෞද්ගලික ඉඩම් හිමියන් සඳහා ඔවුන්ගේ ඉඩම්වල වටිනාකම තක්සේරු කිරීමේ කාර්යය අවසන් කර වන්දි ලබා දෙන තෙක් නිවාස කුලී දීමනාව තවදුරටත් ලබා දීම අවශ්‍ය බව පෙනී ගොස් ඇත. ඒ අනුව, එසේ හඳුනා ගනු ලැබ ඇති පවුල් 60ක් සඳහා මසකට රුපියල් 50,000/- බැගින් තවදුරටත් ගෙවල් කුලී දීමනාව ලබා දීම පිණිස ආපදා කළමනාකරණ අමාත්‍ය අනුර ප්‍රියදර්ශන යාපා මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.