• Increase font size
  • Default font size
  • Decrease font size

2018-02-20 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
සාමාන්‍ය අධ්‍යාපන නවීකරණ ව්‍යාපෘතිය (General Education Modernization - GEM) සඳහා අවශ්‍ය අරමුදල් සලසා ගැනීම
- ශ්‍රී ලංකාවේ අධ්‍යාපන ක්ෂේත්‍රයේ සැලකිය යුතු ප්‍රගතියක් මෑත දශකය තුළ දක්නට ලැබෙන නමුත්, ප්‍රධාන විෂයන්හි ඉගෙනුම් ප්‍රතිඵලවල ප්‍රගතිය රටේ විවිධ පළාත් අනුව විෂමතාවක් පෙන්වයි. එමෙන්ම, පාසල් දරුවන් යහපත් පුරවැසියන් බවට පත් කරන සහ වර්තමාන ගෝලීය ආර්ථිකය තුළ ඵලදායී තැනැත්තන් බවට පත් කරන පරිදි, ගැටලු විසඳීම, ඉලක්ක ළඟා කරගැනීම සඳහා වන අභිප්‍රේරණය, නියාමනය, විශ්වාසය, කණ්ඩායම් ක්‍රියාකාරකම් හා ආචාර ධර්ම වර්ධනය වැනි සමාජ-භාවමය නිපුණතාවන් වර්ධනය වන ආකාරයෙන් සමාන්‍ය අධ්‍යාපන පද්ධතිය වැඩිදියුණු කිරීම කෙරෙහි තවදුරටත් අවධානය යොමු කළ යුතු බව හඳුනාගෙන තිබේ.

ඒ අනුව, දැනට ක්‍රියාත්මක වන 'දැනුම කේන්ද්‍ර කරගත් අධ්‍යාපන ක්‍රමයකට පරිවර්තනය කිරීමේ ව්‍යාපෘතියේ' අත්දැකීම් මත පදනම්ව සහ දියුණු රටවල අධ්‍යාපන පද්ධතීන් හා සමගාමීව සාමාන්‍ය අධ්‍යාපන අංශය තවදුරටත් ශක්තිමත් කිරීම සඳහා 'පාසල් අධ්‍යාපනය පරිවර්තනය කිරීමේ ව්‍යාපෘතිය' නමින් නව ව්‍යාපෘතියක් ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර තිබේ. එම ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීම සඳහා ලෝක බැංකුවේ අන්තර්ජාතික සංවර්ධන සමායතනය මඟින් ඇමරිකානු ඩොලර් මිලියන 100ක අරමුදල් සලසා ගැනීම සඳහා ණය සම්මුති සාකච්ඡා පැවැත්වීමටත්, අදාළ ණය ගිවිසුම්වලට එළඹීමටත් ජාතික ප්‍රතිපත්ති හා ආර්ථික කටයුතු අමාත්‍යතුමා වශයෙන් ගරු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මැතිතුමා ඉදිරිපත් කළ යෝජනා අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.