• Increase font size
  • Default font size
  • Decrease font size

2018-02-14 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
වර්තමානයේ සිදුවන භූමිතෙල් අවභාවිතය වැළැක්වීම
- නිවාස ආලෝකකරණය ආදී අවශ්‍යතා සඳහා මෙරට අඩු ආදායම්ලාභීන් විසින් වැඩි වශයෙන් භාවිත කරනු ලබන බැවින් භූමිතෙල් සඳහා රජය විසින් විශාල සහනාධාරයක් ලබා දෙනු ලැබේ. මේ වන විට ග්‍රාමීය ප්‍රදේශ වෙත බොහෝ දුරට විදුලිය සැපයීම සිදු කරනු ලැබ ඇති බැවින් ග්‍රාමිය ජනතාවගේ භූමිතෙල් පරිභෝජනය පහත වැටී ඇත. කෙසේ වෙතත් පසුගිය මාස කිහිපය තුළ දේශීය භූමිතෙල් පරිභෝජනය අනපේක්ෂිත ලෙස විශාල වශයෙන් වැඩි වී ඇති අතර, එය භූමිතෙල්වලට ලබා දෙනු ලබන සහන මිල නිසා, ඇතැම් පාර්ශ්ව විසින් දුර ගමන් බස්රථ හා ලොරි රථ ඩීසල් වෙනුවට භූමිතෙල් යොදා ධාවනය කළ හැකි වන පරිදි ඒවායේ එන්ජින් වෙනස් කිරීම සහ පෙට්රල්වලට නීතිවිරෝධී ලෙස භූමිතෙල් මිශ්‍ර කිරීම හේතුවෙන් සිදු වී ඇති බව හඳුනාගනු ලැබ තිබේ. මෙම මිශ්‍ර කිරීම් කුලී බවුසර් රථ මඟින් අදාළ නියෝජිත පිරවුම්හල් වෙත ඉන්ධන ප්‍රවාහනය කිරීම අතරතුරදී සිදු වන බවද අනාවරණය කර ගනු ලැබ තිබේ.

මෙම තත්ත්වය වැළැක්වීමට කඩිනමින් කටයුතු කිරීමේ අවශ්‍යතාව සැලකිල්ලට ගෙන, නීති විරෝධී ලෙස ඉන්ධන මිශ්‍ර කිරීමේ කාර්යයේ නිරත වන හෝ භූමිතෙල් සම්බන්ධ වෙනත් නීති විරෝධී කටයුතුවල නිරත වන හෝ ඊට සහාය වන පිරවුම්හල් නියෝජිතයින්ගේ නියෝජිත හිමිකාරිත්වය අහෝසි කිරීමට අවශ්‍ය පියවර ගැනීම පිණිස අතිගරු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා සහ ඛනිජ තෙල් සම්පත් සංවර්ධන අමාත්‍ය අර්ජුන රණතුංග මැතිතුමා ඉදිරිපත් කළ ඒකාබද්ධ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.