• Increase font size
  • Default font size
  • Decrease font size

2018-02-14 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
ශ්‍රී ලංකා කඩිනම් ඝණ අපද්‍රව්‍ය කළමනාකරණ ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීම සඳහා අරමුදල් සලසා ගැනීම
- ඝන අපද්‍රව්‍ය බැහැර කිරීමේ ගැටලුවට තිරසර විසඳුම් ලබා දීමේ අරමුණින් ශ්‍රී ලංකා කඩිනම් ඝණ අපද්‍රව්‍ය කළමනාකරණ ව්‍යාපෘතිය සැලසුම් කරනු ලැබ තිබේ. කොළඹ මහ නගර ප්‍රදේශය තුළ ජනනය වන කසල බැහැර කිරීම සඳහා පුත්තලම, අරුවක්කාලු ප්‍රදේශයේ ඝන අපද්‍රව්‍ය බැහැර කිරීමේ පරිශ්‍රයක් ඉදි කිරීම, දැනට ක්‍රියාත්මක වන මුතුරාජවෙල කොම්පෝස්ට් පොහොර සැකසීමේ මධ්‍යස්ථානය පුළුල් කිරීම සහ දැනට භාවිත නොකරන විවෘත කසල බැහැර කිරීමේ පරිශ්‍රයන්හි බිම් ස්ථායීකරණය කර වැඩිදියුණු කිරීමද මෙම ව්‍යාපෘතිය තුළ ඇතුළත් වේ.

මහානගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍යාංශය සහ පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශය විසින් ක්‍රියාත්මක කරනු ලබන මෙම ව්‍යාපෘතියේ ඇස්තමේන්තුගත සමස්ත පිරිවැය ඇමරිකානු ඩොලර් මිලියන 274ක් වේ. එම පිරිවැයෙන් ඇමරිකානු ඩොලර් මිලියන 115ක මුදලක් ලබාගැනීම සම්බන්ධයෙන් ලෝක බැංකුවේ ප්‍රතිසංස්කරණය හා සංවර්ධනය සඳහා වන අන්තර් ජාතික බැංකුව සමඟ ණය සම්මුති සාකච්ඡා පැවැත්වීම පිණිස ජාතික ප්‍රතිපත්ති හා ආර්ථික කටයුතු අමාත්‍යතුමා වශයෙන් ගරු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.