• Increase font size
  • Default font size
  • Decrease font size

2018-02-14 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
වෙල්ලස්ස විමුක්ති අරගලයේ 200 වන වර්ෂ පූර්ණ සැමරුමට සමගාමීව මොනරාගල දිස්ත්‍රික්කය තුළ සංවර්ධන වැඩසටහන ක්‍රියාත්මක කිරීම
- 1815 වර්ෂයේදී ඉංග්‍රීසින් විසින් ශ්‍රී ලංකාව සම්පූර්ණයෙන්ම යටත් කරගැනීමෙන් පසුව ඇති වූ පීඩනයට එරෙහිව ඌව - වෙල්ලස්සේ ජනතාව විසින් 1818 වර්ෂයේදී අරගලයක් සිදු කරන ලද අතර, එය ඉංග්‍රීසින්ට එරෙහිව ඇති වූ ප්‍රථම නිදහස් අරගලය විය. මෙම අරගලය මර්දනය කිරීම සඳහා ඉංග්‍රීසින් විසින් එම ප්‍රදේශයේ වැව් අමුණු, කෙත් වතු, වෙහෙර විහාර ආදී දේපළ හා මිනිස් ජීවිත දරුණු ලෙස විනාශ කරන ලද අතර, එය දැඩි ආර්ථික - සමාජ පරිහානියකට හේතු විය.

එම මර්දනයට හසු වූ ප්‍රදේශ ඇතුළත් මොනරාගල දිස්ත්‍රික්කය වර්තමානයේ ද ඉතා අඩු සංවර්ධනයක් පෙන්නුම් කරන දිස්ත්‍රික්කයකි. එබැවින් 1818 නිදහස් අරගලය සිදුවී වසර 200ක් සම්පූර්ණ වන 2018 වර්ෂයේදී, එය සැමරීමට සමගාමීව, මොනරාගල දිස්ත්‍රික්කය තුළ වැව් අමුණු ප්‍රතිසංස්කරණය කිරීම, මාර්ග හා යටිතල පහසුකම් සංවර්ධනය, පූජනීය ස්ථාන ප්‍රතිසංස්කරණය, කෘෂි ගොවිපළ හා ග්‍රාමීය කර්මාන්ත නගා සිටුවීම ආදිය ඉලක්ක කරගත් වැඩසටහනක් ක්‍රියාත්මක කිරීම පිණිස රාජ්‍ය පරිපාලන හා කළමනාකරණ අමාත්‍ය රංජිත් මද්දුම බණ්ඩාර මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී. අදාළ රේඛීය අමාත්‍යාංශවලට 2018 අයවැය යටතේ දැනටමත් වෙන් කරනු ලැබ ඇති ප්‍රතිපාදන උපයෝගි කරගනිමින් ඉහත වැඩසටහන් ක්‍රියාත්මක කිරීමට ප්‍රමුඛතාව ලබා දිය යුතු බවද අමාත්‍ය මණ්ඩලය විසින් වැඩිදුරටත් තීරණය කරන ලදී.