• Increase font size
  • Default font size
  • Decrease font size

2018-02-14 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
විද්‍යුත් ශාක ස්වස්ථතා සහතික නිකුත් කිරීමේ නියමු ව්‍යාපෘතියක් ක්‍රියාත්මක කිරීම
- ශ්‍රී ලංකාව විසින් අපනයනය කරනු ලබන ශාක හා ශාකමය ද්‍රව්‍යවල ගුණාත්මකභාවය තහවුරු කිරීම සඳහා අත්‍යවශ්‍ය සහතිකයක් වන ශාක ස්වස්ථතා සහතික පත්‍ර (Phytosanitary Certificates) නිකුත් කිරීම ශ්‍රී ලංකා කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ ශාක නිරෝධායන ඒකකය මඟින් මුද්‍රිත ස්වරූපයෙන් සිදු කරනු ලැබේ. ආරක්ෂාකාරීව හා කාර්යක්ෂම ලෙස රටවල් අතර ලේඛන හුවමාරු කිරීමේ ක්‍රමවේදයක් ලෙස විද්‍යුත් ශාක ස්වස්ථතා සහතික පත් නිකුත් කිරීමේ අවශ්‍යතාව එක්සත් ජාතීන්ගේ ජාත්‍යන්තර ශාක සංවර්ධන සම්මුතිය මඟින් අවධාරණය කරනු ලැබ තිබේ. ඒ අනුව, විද්‍යුත් ශාක ස්වස්ථතා සහතික පත්‍ර නිකුත් කිරීමේ වැඩපිළිවෙළ අත්හදා බැලීම සඳහා ආසියා ශාන්තිකර කලාපයේ ක්‍රියාත්මක කිරීමට නියමිත නියමු වැඩසටහන සඳහා ශ්‍රී ලංකාව තෝරාගනු ලැබ තිබේ. මෙමඟින් ශාක හා ශාකමය ද්‍රව්‍ය හුවමාරුවේ කාර්යක්ෂමතාව හා සුරක්ෂිතභාවය ජාත්‍යන්තර වශයෙන් වැඩි දියුණු වීමෙන් ශ්‍රී ලංකාවට නව වෙළඳ හා අලෙවි අවස්ථා නිර්මාණය වනු ඇත.

මෙම නියමු ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීම සඳහා එක්සත් ජාතීන්ගේ ජාත්‍යන්තර ශාක ආරක්ෂණ සම්මුතියේ මඟපෙන්වීම යටතේ ඕස්ට්‍රේලියානු කෘෂිකර්ම හා ජල සම්පත් දෙපාර්තමේන්තුව විසින් අනුග්‍රහය සපයනු ලැබේ. මෙම නියමු ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීමටත්, ඒ සම්බන්ධයෙන් ශ්‍රී ලංකාවේ කෘෂිකර්ම දෙපාර්තමේන්තුව සහ ඕස්ට්‍රේලියාවේ කෘෂිකර්ම හා ජල සම්පත් දෙපාර්තමේන්තුව අතර අවබෝධතා ගිවිසුමක් ඇති කරගැනීමටත් කෘෂිකර්ම අමාත්‍ය දුමින්ද දිසානායක මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.