• Increase font size
  • Default font size
  • Decrease font size

2018-02-14 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
2018 අයවැය මඟින් යෝජිත 'එන්ටර්ප්‍රයිස් ශ්‍රී ලංකා' (Enterprise Sri Lanka) වැඩසටහන යටතේ සහන ණය යෝජනා ක්‍රම ක්‍රියාත්මක කිරීම
- වාර්ෂික ඒක පුද්ගල ආදායම ඇමරිකානු ඩොලර් 5,000ක් දක්වා ඉහළ නැංවීම, නව රැකියා අවස්ථා මිලියනයක් බිහි කිරීම, අපනයන වටිනාකම දෙගුණ කිරීම, 5%කට වඩා වැඩි වාර්ෂික ආර්ථික වර්ධන වේගයක් පවත්වාගෙන යාම යන රජයේ මධ්‍යකාලීන සංවර්ධන ඉලක්ක 2020 වර්ෂය වන විට ළගා කරගැනීම සදහා 'එන්ටර්ප්‍රයිස් ශ්‍රී ලංකා' (Enterprise Sri Lanka) වැඩසටහන 2018 අයවැය මඟින් යෝජනා කරන ලදී. මේ යටතේ ආර්ථික සංවර්ධනයේ ගාමක බලවේගය ලෙස හඳුනාගෙන ඇති තරුණයින්, සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයින්, ස්වයං රැකියාවල නිරතවන්නන් හා කාන්තා ව්‍යවසායකයින් ඉලක්ක කරගනිමින් සහන ණය යෝජනා ක්‍රම 15ක් ඇතුළු මූල්‍ය හා මූල්‍ය නොවන පහසුකම් සැලසීමට නියමිතය. ඒ සඳහා 2018 වර්ෂය සඳහා රුපියල් මිලියන 20,230ක් වෙන් කරනු ලැබ තිබේ.

එමෙන්ම 2018 අයවැය මඟින් යෝජනා කරන ලද 'හරිත ණය' (Green Loan) සහන ණය යෝජනා ක්‍රමය යටතේ පොලිතින් වෙනුවට භාවිත කළහැකි ඇසුරුම් ද්‍රව්‍ය දිරාපත් වන අමුද්‍රව්‍යවලින් නිෂ්පාදනය කිරීම සඳහා දේශීය ව්‍යාපාරිකයින් දිරිමත් කරවීමටත්, සංචාරකයින්ට සේවා සපයන කුඩා පරිමාණ හෝටල් හිමියන්ට සහ 'Homestay' වැඩසටහන් සඳහා ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරියේ ලියාපදිංචි නිවාස හිමියන්ට මූල්‍ය පහසුකම් සැලසීමටත් නියමිතය. මෙම ණය යෝජනා ක්‍රමය රජයේ හා පෞද්ගලික බැංකු හරහා ක්‍රියාත්මක කිරීම පිණිස මුදල් හා ජනමාධ්‍ය අමාත්‍ය මංගල සමරවීර මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.