• Increase font size
  • Default font size
  • Decrease font size

2018-02-14 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
ආයුර්වේද වෛද්‍ය සභාවේ කටයුතු විධිමත් කිරීම සඳහා නව දේශීය වෛද්‍ය සභා පනතක් හඳුන්වා දීම
- වසර 3,000කට වඩා පැරණි ආයුර්වේද වෛද්‍ය ක්‍රමය ශ්‍රී ලාංකේය පාරම්පරික වෛද්‍ය ක්‍රමය හා මුසුව මෙරට වෛද්‍ය ක්ෂේත්‍රය තුළ සැලකිය යුතු කාර්යභාරයක් සිදු කරන අතර, ඊට සමගාමීව සිද්ධ වෛද්‍ය ක්‍රමය හා යුනානි වෛද්‍ය ක්‍රමයද දේශීය වෛද්‍ය ක්‍රමය තුළ ක්‍රියාත්මක වේ. 1961 අංක 31 දරන ආයුර්වේද පනත යටතේ පිහිටුවන ලද ආයුර්වේද වෛද්‍ය සභාව විසින් වර්තමානයේදී දේශීය වෛද්‍ය ක්‍රමය තුළ සේ‍වයේ යෙදෙන වෛද්‍යවරුන් ලියාපදිංචි කිරීම, නියාමනය හා ඔවුන්ගේ ආචාර ධර්ම සම්බන්ධයෙන් කටයුතු කිරීම සිදු කරනු ලබයි. වර්තමානයේ දේශීය වෛද්‍ය ක්‍රමය ශ්‍රී ලාංකිකයින් මෙන්ම විදේශ සංචාරකයින් අතරද ප්‍රචලිතව පවතින අතර, කාලීන අවශ්‍යතාවන්ට ගැළපෙන පරිදි ආයුර්වේද වෛද්‍ය සභාවේ කාර්යයන් පුළුල් කිරීම යෝග්‍ය බව හඳුනාගනු ලැබ තිබේ.

ඒ අනුව, දේශීය වෛද්‍ය ක්‍රමය උන්නතිය සඳහා 1961 අංක 31 දරන ආයුර්වේද පනතින් 'ආයුර්වේද වෛද්‍ය සභාව' යන කොටස වෙන් කර, ආයුර්වේද වෛද්‍ය සභාවේ කටයුතු විධිමත් කිරීම සඳහා නව දේශීය වෛද්‍ය සභා පනතක් සකස් කිරීම පිණිස සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය (වෛද්‍ය) රාජිත සේනාරත්න මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.