• Increase font size
  • Default font size
  • Decrease font size

2018-02-14 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
පිළිකා සඳහා වන ජාත්‍යන්තර පර්යේෂණ ආයතනය සමඟ පර්යේෂණ සහයෝගිතා ගිවිසුමකට එළඹීම
- 1985 වර්ෂයේදී මෙරට පිළිකා රෝගීන් වාර්තා වීමේ දළ අනුපාතිකය ජනගහනයෙන් ලක්ෂයකට 31.6ක් වූ අතර, එය 2010 වර්ෂය වන විට ජනගහනයෙන් ලක්ෂයකට 82.1ක් දක්වා වර්ධනය වී තිබේ. පිළිකා රෝගය පාලනය සම්බන්ධයෙන් කටයුතු කිරීමේදී සියලු වර්ගවල පිළිකා සම්බන්ධයෙන් ජනගහනය මත පදනම් වූ පිළිකා රෝග ලේඛන නිසියාකාරව පවත්වා ගෙන යාම ඉතා වැදගත් වේ. 1985 වර්ෂයේ සිට ශ්‍රී ලංකාවේ ජාතික මට්ටමේ පිළිකා රෝග ලේඛනයක්ද පවත්වා ගෙන යනු ලබන අතර, 2012 වර්ෂයේ සිට කොළඹ දිස්ත්‍රික්කය සඳහා ජනගහනය මත පදනම් වූ පිළිකා රෝග ලේඛනයක් ස්ථාපිත කරනු ලැබ තිබේ.

ශ්‍රී ලංකාවේ පිළිකා රෝග ලේඛන ජනගහනය මත පදනම්ව තවදුරටත් වැඩිදියුණු කළ හැකි බව පිළිකා සඳහා වන ජාත්‍යන්තර පර්යේෂණායතනය විසින් නිර්දේශ කරනු ලැබ ඇත. ඒ සඳහා තාක්ෂණික සහයෝගය ලබාගැනීම පිණිස සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍යාංශය සහ පිළිකා සඳහා වන ජාත්‍යන්තර පර්යේෂණ ආයතනය අතර පර්යේෂණ සහයෝගිතා ගිවිසුමක් ඇති කරගැනීම පිණිස සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය (වෛද්‍ය) රාජිත සේනාරත්න මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.