• Increase font size
  • Default font size
  • Decrease font size

2018-02-14 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
අපරාධයක වගකීම දැරීමේ අවම වයස් සීමාව වැඩි කිරීමට අදාළව 1979 අංක 15 දරන අපරාධ නඩු විධාන සංග්‍රහ පනත සංශෝධනය කිරීම
- ශ්‍රී ලංකාවේ නීතිය අනුව, වයස අවුරුදු 08කට අඩු ළමයෙකුට අපරාධ වගකීම පවරනු නොලැබේ. එහෙත් මෙය ඉතා ළාබාල වයස් සීමාවක් බව මනෝ වෛද්‍යවරුන්ගේ සහ අදාළ ක්ෂේත්‍රවල විශේෂඥවරුන්ගේ මතය වේ. මෙම වයස් සීමාව අවුරුදු 12 දක්වා ඉහළ නැංවීමටත්, වයස අවුරුදු 12 ට වැඩි එහෙත් අවුරුදු 14ට අඩු ළමයකු සම්බන්ධයෙන් වන විට, චෝදනා කරනු ලැබ ඇති වරද සිදු කිරීමේදී එහි බැරෑරුම්කම තේරුම් ගැනීමට තරම් මේරූ බුද්ධියක් අදාළ ළමයාට තිබුණේද යන්න පිළිබඳව තීරණය කිරීමේ අභිමතය මහේස්ත්‍රාත්වරයාට ලබා දීමට හැකි වන පරිදි දණ්ඩ නීති සංග්‍රහය සංශෝධනය කිරීම පිණිස අමාත්‍ය මණ්ඩලය විසින් දැනටමත් අනුමැතිය ලබා දෙනු ලැබ ඇත.

මෙවැනි අවස්ථාවකදී විද්‍යාත්මක පදනමක් මත අදාළ මතයට එළඹීමට විශේෂඥ සහාය ලබාගැනීමට මහේත්‍රාත්වරයාට හැකි වනු පිණිස එකී ළමයා රජයේ වෛද්‍ය නිලධාරියෙකු විසින් පරීක්ෂා කිරීමට හැකි වන පරිදි අදාළ විධිවිධාන සලසමින් 1979 අංක 15 දරන අපරාධ නඩු විධාන සංග්‍රහය පනත සංශෝධනය කිරීම සඳහා සකස් කරනු ලැබ ඇති පනත් කෙටුම්පත රජයේ ගැසට් පත්‍රයේ පළ කිරීමටත්, ඉන් අනතුරුව අනුමැතිය සඳහා පාර්ලිමේන්තුව වෙත ඉදිරිපත් කිරීමටත් අධිකරණ අමාත්‍ය තලතා අතුකෝරල මැතිතුමිය ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.