• Increase font size
  • Default font size
  • Decrease font size

2018-02-14 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
පොළොන්නරුවේ ප්‍රාදේශීය කොන්සියුලර් කාර්යාලයක් ස්ථාපනය කිරීම
- විදේශ කටයුතු අමාත්‍යාංශයේ කොන්සියුලර් අංශය මඟින් සපයනු ලබන සේවාවන් ලබාගැනීම සඳහා එහි කොළඹ කාර්යාලය වෙත දිනකට 600කට වැඩි පිරිසක් දිවයිනේ විවිධ ප්‍රදේශවලින් පැමිණෙති. මෙම සේවාවන් මහජනතාවට පහසුවෙන් ලබාගැනීමට හැකි වන පරිදි ප්‍රාදේශීය කොන්සියුලර් කාර්යාල ස්ථාපනය කිරීමට පියවර ගනිමින් පවතියි. ඒ අනුව, උතුරු පළාතේ ජනතාව සඳහා ප්‍රාදේශීය කොන්සියුලර් කාර්යාලයක් යාපනය ප්‍රදේශයේ දැනටමත් ස්ථාපනය කර ඇති අතර, එවැනි ප්‍රාදේශීය කොන්සියුලර් කාර්යාලයක් මාතර ප්‍රදේශයේ ද විවෘත කිරීමට අවශ්‍ය මූලික කටයුතු මේ වන විට නිම කර ඇත.

අනුරාධපුර, පොළොන්නරුව, ත්‍රිකුණාමලය, මඩකලපුව, කුරුණෑගල, අම්පාර හා මාතලේ දිස්ත්‍රික්කයන්හි වෙසෙන ජනතාවට එම සේවාවන් පහසුවෙන් ලබා දීමේ අරමුණින්, ප්‍රාදේශීය කොන්සියුලර් කාර්යාලයක් පොළොන්නරුව ප්‍රදේශයේද ඉදි කිරීමට යෝජනා වී තිබේ. ඒ අනුව, පොළොන්නරුවේ තමන්කඩුව ප්‍රාදේශීය ලේකම් කාර්යාල ආසන්නයේ පිහිටි ගොඩනැඟිල්ලක එම ප්‍රාදේශීය කොන්සියුලර් කාර්යාලය පිහිටුවීම පිණිස විදේශ කට‍යුතු අමාත්‍ය තිලක් මාරපන මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් ප්‍රතිපත්තිමය වශයෙන් අනුමත කරන ලදී.