• Increase font size
  • Default font size
  • Decrease font size

2018-01-30 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
අල්ලස් හා දූෂණ චෝදනා සහ අතිශය සංකීර්ණ මූල්‍ය අපරාධ චෝදනා සම්බන්ධයෙන් වන නඩු කටයුතු කඩිනමින් විභාග කිරීම සඳහා විශේෂ මහාධිකරණයක් පිහිටුවීම
- අල්ලස් හා දූෂණ චෝදනා සහ අතිශය සංකීර්ණ මූල්‍ය අපරාධ චෝදනා සම්බන්ධයෙන් වන නඩු කටයුතු කඩිනමින් විභාග කිරීම සඳහා විශේෂයෙන්ම කැප වූ ත්‍රිපුද්ගල මහාධිකරණයක් පිහිටුවීම සඳහා 1978 අංක 2 දරන අධිකරණ සංවිධාන පනත සංශෝධනය කිරීම පිණිස අමාත්‍ය මණ්ඩලයේ අනුමැතිය දැනටමත් ලබා දෙනු ලැබ තිබේ. ඒ අනුව, සකස් කරනු ලැබ ඇති පනත් කෙටුම්පත ප්‍රකාරව, එහි නිශ්චිතව දක්වනු ලබන වරදවල් සම්බන්ධයෙන් නීතිපතිවරයා හෝ අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් මෙම යෝජිත ත්‍රිපුද්ගල මහාධිකරණය වෙත අධි චෝදනා ගොනු කෙරෙනු ඇත. එහිදී අවස්ථානුගත පරිදි, අදාළ වැරදිවල ස්වභාවය, බරපතල බව, සංකීර්ණ බව, රජයට හෝ වින්දිතයන් හට සිදුව ඇති බලපෑම, ජාතික සුබසිද්ධිය ආදී කරුණු විධිමත් ක්‍රමවේදයකට යටත්ව සැලකිල්ලට ගැනෙනු ඇත.

මෙම ත්‍රිපුද්ගල මහාධිකරණය ස්ථාපිත කිරීම සඳහා විධිවිධාන සලසමින් 1978 අංක 2 දරන අධිකරණ සංවිධාන පනත සංශෝධනය කිරීම සඳහා සකස් කරනු ලැබ ඇති පනත් කෙටුම්පත රජයේ ගැසට් පත්‍රයේ පළ කිරීමටත්, ඉන් අනතුරුව අනුමැතිය සඳහා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමටත් අධිකරණ අමාත්‍ය තලතා අතුකෝරල මැතිතුමිය ඉදිරිපත් කරන ලද ඉහත කරුණු අමාත්‍ය මණ්ඩලය විසින් සැලකිල්ලට ගන්නා ලදී.