• Increase font size
  • Default font size
  • Decrease font size

2018-01-30 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
නියඟයෙන් පීඩාවට පත් ගොවීන්ට තවදුරටත් සහන සැලසීම
- මෑතකදී රටට බලපෑ වියළි කාලගුණික තත්ත්වය හේතුවෙන් ඇති වූ නියඟයෙන් ගොවි පවුල් 291,945ක් පීඩාවට පත්ව ඇති බව හඳුනාගනු ලැබ තිබේ. එම ගොවි පවුල් සඳහා රජය විසින් දැනටමත් ලබා දී ඇති සහනවලට අමතරව තවදුරටත් සහන සැලසීම සඳහා යෝජනා ඉදිරිපත් කිරීම පිණිස අමාත්‍ය මණ්ඩලය විසින් මුදල් හා ජනමාධ්‍ය අමාත්‍යාංශය, කෘෂිකර්ම අමාත්‍යාංශය, ආපදා කළමනාකරණ අමාත්‍යාංශය හා ‍ස්වදේශ කටයුතු අමාත්‍යාංශය යන අමාත්‍යාංශවල ලේකම්වරුන්ගෙන් සමන්විත නිලධාරි කමිටුවක් පත් කරනු ලැබ තිබේ.

එම කමිටුවේ නිර්දේශය පරිදි, නියං තත්ත්වය හේතුවෙන් අඛණ්ඩව 2016/17 මහ, 2017 යල සහ 2017/18 මහ යන කන්නයන් 03හි වගා නොකළ ගොවි පවුල් සඳහා මාසිකව ලබා දෙනු ලබන වියළි සලාකය 2018 ජනවාරි මස සිට 2018 අප්‍රේල් දක්වා කාල පරිච්ඡේදය සදහාද තවදුරටත් ලබා දීම පිණිස මුදල් හා ජනමාධ්‍ය අමාත්‍ය මංගල සමරවීර මැතිතුමා, ආපදා කළමනාකරණ අමාත්‍ය අනුර ප්‍රියදර්ශන යාපා මැතිතුමා, කෘෂිකර්ම අමාත්‍ය දුමින්ද දිසානායක මැතිතුමා සහ ස්වදේශ කටයුතු අමාත්‍ය වජිර අබේවර්ධන මැතිතුමා ඉදිරිපත් කළ ඒකාබද්ධ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.